යොවුන් එක්දින තරගාවලියේ ජයත් ඉන්දීය බාළිකාවෝ දිනා ගනිති

ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැති තරග 3කින් යුත් එක්දින පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙනුත් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය බාළිකාවෝ තරගාවලිය 3–0ක් ලෙසින් පූර්ණ ජයක් වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැති තරග තුනෙහිම ඉන්දීය ක්‍රීඩිකාවෝ ප්‍රබල ආධිපත්‍යයක් පෙන්වමින් පළමු තරගය ලකුණු 120කින් ද දෙවැනි තරගය ලකුණු 49කින් ද ජය වාර්තා කළහ.

ජූලි 05 වැනිදා ඉන්දියාවේ පූඩුචෙරිහි ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමෝදි ප්‍රබෝධා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළාය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 159කට සීමා වූ අතර, වැඩිම ලකුණුලාභිනිය වූ විමෝක්ෂා බාලසූරිය පන්දු 77කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 62ක් ලබා ගත්තාය. නෙතඟි ඉසුරාංජලී ලකුණු 24ක්ද චමෝදි ප්‍රබෝධා ලකුණු 19ක්ද සහ ලිමංසා තිලකරත්න ලකුණු 16ක්ද ලබා ගත්හ.

පන්දු යැවීමේදී ජන්හවි විර්කාර් සහ කුමාරි පාලක් කඩුලු 3 බැගින් දවාගත් අතර මහක් නර්වාසේ කඩුලු 2ක්ද, කශ්වි කන්ඩිකුප්පා කඩුල්ලක්ද ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දු 18.2කදී කඩුලු 2ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ආරම්භක පිතිකාරිනී ඉෂ්වරි අවසාරේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 53 කදී නොදැවී ලකුණු 75ක් ලබා ගත් අතර නිධි මාහ්තෝ හයේ පහර 2 ක් සම හතරේ පහර 9 ක් සමගින් පන්දු 25 කදී ලකුණු 54ක් ලබා ගත්තාය.

ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට පන්දු 41කදී ලකුණු 74ක සබඳතාවක් ගොඩනැගූහ. ශ්‍රී ලංකා පන්දු යැවීමේදී ප්‍රමුදි මෙත්සරා සහ චමෝදි හේරත් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ජන්හවි විර්කාර් නම් කෙරුණු අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නිධි මාහ්තෝ සම්මානයට පාත්‍ර වූහ.

මෙම තරගාවලියට පෙර පැවැති විස්සයි20 තරගාවලියද ඉන්දියාව 3–0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 159 යි  – (විමෝක්ෂා බාලසූරිය 62, නෙතඟි ඉසුරාංජලී 24, චමෝදි ප්‍රබෝධා 19, ලිමංසා තිලකරත්න 16, ජන්හවි විර්කාර් 33/3, කුමාරි පාලක් 13/3, මහක් නර්වාසේ 19/2)

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාළිකා කණ්ඩායම පන්දුවාර 18.2 කදී කඩුලු 2ක් දැවී ලකුණු 161 යි – (ඉෂ්වරි අවසාරේ 75*, නිධි මාහ්තෝ 54)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website