
ආචාර්ය රංජිත් පුන්යවර්ධන, හිටපු කාලගුණ විද්‍යාඥ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
නිවර්තන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙහි දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් වර්ෂාපතන ඍතු හතරක් පවතී. ඒවා නම්, පළමු අන්තර් මෝසම් වර්ෂාව වාර්ෂිකව මාර්තු සහ අප්‍රේල් මාසවල ලැබෙන අතර සවස් කාලයේ අධික ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම වර්ෂාව ලංකාවේ තෙත් කලාපයට ලැබෙන අතර, තෙත් කලාපයේ ද රත්නපුර කුරුවිට ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබේ. මේ ප්‍රදේශයට මිලිමීටර් 770ක වර්ෂාපතනයක් ලැබෙන විට යාපනය වැනි ප්‍රදේශවලට ලැබෙන්නේ මිලිමීටර් 78ක් වැනි අවම වර්ෂාපතනයකි.
නිරිත දිග මෝසම් වර්ෂාව මැසි මාසයේ සිට සිට සැප්තැම්බර් දක්වා ක්‍රියාත්මක වන අතර මැයි අවසානයේ සිට ජූලි මාසය පුරා නිරිත දිග මෝෂම් වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනයක් ලැබේ. නිරිත දිග මෝසම් වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනයක් ලංකාවේ තෙත් කලාපයේ නිරිත දිග ප්‍රදේශවලට ලැබේ. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ නිරිත දිග බෑවුමේ පිහිටි හැටන්, ගිනිගත්හේන වැනි ප්‍රදේශවලට මිලිමීටර් 3000ක පමණ වර්ෂාවක් ලැබෙන නමුත් හලාවත, මන්නාරම වැනි ප්‍රදේශවලට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබේ.
දෙවන අන්තර් මෝසම් වර්ෂාව ඔක්තෝබර් – නොවැම්බර් මාසවල ලැබේ. මෙම වර්ෂාව ලංකාවේ මෝසම් වර්ෂා අතර ඉතාමත් සාර්ව මිලිමීටර් 400ක පමණ වර්ෂාපතනයක් ලබා දෙන අතර ලංකාව පුරාම ඒකාකාරී වර්ෂාපතනයක් ලබා දේ. දෙවන අන්තර් මෝසම් වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනයක් යටියන්තොට ප්‍රදේශයේ වේවැල්තලාව වතු යායට ලැබෙන අතර එය මිලිමීටර් 1200ක් ද ඉක්මවා ගිය අධික වර්ෂාපතනයකි.
ඊසාන දිග මෝසම් වර්ෂාව දෙසැම්බර් සිට පෙබරවාරී දක්වා ක්‍රියාත්මක වන අතර ලංකාවේ ඊසාන දිගල කලාපයට මෙමගින් ඉහළ වර්ෂාපතනයක් ලැබේ. විශේෂයෙන් කඳුකරයේ නැගෙනහිර බෑවුමෙන් ඔබ්බට ඉහළ වර්ෂාපතනයක් ලැබෙන අතර, නකල්ස් කඳුවැටියේ කොබෝනිල්ල වතුයායට මිලිමීටර් 1200 ඉක්මවා ගිය වර්ෂාපතනයන් ඊසාන දිග වර්ෂාවෙන් ලැබෙන අතර හලාවත වැනි ප්‍රදේශවලට මිලිමීටර් 77ක පමණ අවම වර්ෂාපතනයක් ලැබේ. ඊසාන දිග මෝසම් වර්ෂාව ඉතා දුර්වල එකක් වන අතර ඉතා සුළු කාලගුණ සංසිද්ධියකින් පවා වර්ෂාපතනය දුර්වල වේ.
ඊසාන දිග වර්ෂාපතනය බොහෝ අවස්ථාවල දුර්වල වීම හේතුවෙන් ලංකාවේ වියළි කලාපය නිරන්තර නියඟ තත්ත්වයකට මුහුණ දෙන අතර, ඊට පිළියමක් දෙස වැව් අමුණු නිර්මාණය කිරීම සිදුවිය.
මෙම වර්ෂාපතන රටා හතරේ එකතු වීමෙන් ලංකාවේ වාර්ෂික වර්ෂාපතන හම්බන්තොට, මොනරාගල මිලිමීටර් 850ක් පමණ වන විට මධ්‍යම කඳුකරයේ මිලිමීටර් 5500 ඉක්මවා ගිය අධික වර්ෂාපතනයක් ලැබේ.
මෙවැනි අධික ලෙස ‘ස්ථානීය විචල්‍ය’, නැතහොත් ‘ප්‍රාදේශීය විචල්‍ය’ තත්ත්වයක් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය තුළ දැකගත හැකි අතර ලංකාවේ විශාල ජෛව විද්‍යාත්මක විවිධත්වයක් නිර්මාණය වීමට වර්ෂාපතනයේ විවිධත්වය හේතු වී ඇත.
දේශගුණික කලාප වාර්ගීකරණය

මෙම වර්ෂාපතන රටාවන් සැලකිල්ලට ගෙන ලංකාව ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප තුනකට බෙදා ඇත. ඒ අනුව වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2500කට වඩා වැඩි කලාපය ‘තෙත් කලාපය’ ලෙසත්, වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750ට අඩු ප්‍රදේශය ‘වියළි කලාපය ලෙසත්, වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750-2500 අතර කලාපය ‘අතරමැදි කලාපය’ ලෙසත් හැඳින්වේ.
තෙත් කලාපයට මාස හතරක් (ජනවාරි,පෙබරවාරී, මාර්තු සහ අගෝස්තු) හැරෙන්න අනෙක් මාස අටේ මාසිකව මිලිමීටර් 200කට අධික වර්ෂාපතනයක් ලැබෙන අතර අතර මැදි කලාපයේ මාසික වර්ෂාපතනය මිලිමීටර් 200කට වඩා අඩු වන අතර වියළි කලාපයේ කිසිම මාසයක වර්ෂාපතනය මිලිමීටර් 200කට වඩා බෙහෙවින් අඩු තත්ත්වයක් පවතී.
තෙත් කලාපයේ පෙබරවාරී මාසය අඩුම වර්ෂාපතනයක් වාර්තා කරන අතර ජනවාරී ද සැලකිය යුතු ලෙස අඩු වර්ෂාපතනයක් වාර්තා කරයි. වියළි කලාපයේ මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ඔක්තෝබර් – නොවැම්බර් මාසවල වන අතර ද අතරමැදි කලාපයේ ද ඔක්තෝබර් නොවැම්බර් සහ අප්‍රේල් යන මාසවල මිලිමීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ.
එල් නිනෝ නම් නැට්ටුවා

එල් නිනෝ සංසිද්ධිය ‘නැට්ටුවෙක්’ ලෙස හැඳින්විය හැකිය. අප දන්නා ආකාරයට නැට්ටුවාට තනියෙන් නැටීමට නොහැකිය. ඔහුට සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමට නම් බෙරකරුවන්, නළාකරුවන් අවශ්‍ය වේ. එල් නිනෝ නම් නැට්ටුවාට සාර්ථක රංගනයක් ඉදිරිපත් කිරීමට ඉන්දියන් සාගර ඩයිපෝලය (Indian Ocean Dipole – IOD) නම් බෙරකරුවාත් මැඩන් – ජූලියන් දෝලනය (Madden -Julian Oscillation) MJO නම් නළාකරුවාත් අවශ්‍ය වේ. මෙම දෙදෙනාගේ ද ක්‍රියාකාරීත්වය අනුව ශ්‍රී ලංකාවේ එල් නිනෝ සංසිද්ධිය අත්දැකීමට අවස්ථාව උදාවේ.
- ඉන්දියන් සාගර ඩයිපෝලය (Indian Ocean Dipole – IOD) යනුඉන්දියානු සාගරය හරහා මුහුදු මතුපිට උෂ්ණත්වයේ අක්‍රමවත් දෝලනය මගින් අර්ථ දක්වා ඇති දේශගුණික සංසිද්ධියකි.බොහෝ විට “ඉන්දියානු නිනෝ” ලෙස හඳුන්වනු ලබන මෙය, බටහිර ඉන්දියානු සාගරයේ ජලය ඉන්දුනීසියාව අසල නැගෙනහිර කොටසේ ජලයට වඩා විකල්ප වශයෙන් උණුසුම් හෝ සිසිල් වීමට හේතු වේ.

ඉහත රූප සටහනට අනුව එල් නිනෝ සංසිද්ධිය ආරම්භ වන්නේ පළමු අන්තර් මෝසම් වර්ෂා සමයේ දීය. (මාර්තු – අප්‍රේල්) නමුත් 2026 වර්ෂයේ පළමු අන්තර් මෝසමට එල් නිනෝ හි බලපෑමක් නැති බව කාලගුණ විද්‍යාඥයින් විසින් හෙළිකර ඇත. එහි අදහස වන්නේ පළමු අන්තර් මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන මාර්තු- අප්‍රේල් සමයේ එල් නිනෝ නම් ළදරුවාගේ කළලයවත් වර්ධනය වී නොතිබූ බවය. මේ වන විට අප අත්විඳිමින් සිටින නිරිත දිග මෝසම් සමයේ (මැයි – සැප්තැම්බර්) ජූලි අවසානය වන විට එල් නිනෝ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. නිරිත දිග මෝසම් වර්ෂා සමයේ ඉහළම වර්ෂාපතනය වාර්තා වන්නේ ජූලි මාසයේ දීය. නමුත් ජූලි මාසයේ දී ‘දැනෙන’ බලපෑමක් නොවන බව කාලගුණ විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර ඇත. නමුත් අගෝස්තු වන විට එල් නිනෝ තත්ත්වයට යම්කිසි බලපෑමක් කළ හැකි තත්ත්වයක් පවතී. නමුත් ජූලි 15 වැනිදායින් පසු නිරිත දිග මෝසම් වර්ෂාව දුර්වල වන අතර අගෝස්තු මාසයේ වියළි සුළං සහිත කාලගුණයක් බිහිවේ. අගෝස්තු මාසයේ දී නිරිත දිග දිසාවෙන් හමන සුළං තිබුණ ද ඉතා කලාතුරකින් පමණක් වර්ෂාවක් පතිත වේ. (අගෝස්තු මසයේ ලැබෙන පාසල් නිවාඩුව ‘ග්‍රීෂ්ම නිවාඩුව’ ලෙස නම්කරන ලද්දේ මේ නිසාය).
ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දෙවන අන්තර් මෝසම් වර්ෂා සමය උදා වේ. මෙම මාසවල වර්ෂාපතනය ඉතාම පැහැදිලිව වර්ධනය වේ. නමුත් මෙම මාසවල ලැබෙන වර්ෂාපතනයේ අගය සම්බන්ධයෙන් ‘නිශ්චිත’ අනාවැකි පැවසිය නොහැකිය. ඊට හේතුව වන්නේ බහුවිධි සාධක මත වර්ෂාපතනය තීරණය වීමය. නමුත් මෙම මාසවල ලංකාව පුරාම ඒකාකාරීව සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වීම සිදුවේ.
දෙසැම්බර් සහ පෙබරවාරී යන මාසවල දුර්වල පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි ඊසාන දිග මෝසම් වර්ෂාව ලැබේ. මෙම වර්ෂාපතනය ලංකාවේ වියළි කලාපයේ කෘෂිකර්මාන්තයට ඉතා වැදගත් වනු නමුත් ඉතා සුළු කාලගුණ සංසිද්ධි හේතුවෙන් මෙහි වාර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩුවිය හැකිය.
Very Strong එල් නිනෝ තත්ත්වයන් නිර්මාණය වීමට 63%ක සම්භාවිතාවක් පවතින වර්තමානයේ ජනමාධ්‍ය පවසන ආකාරයට ‘සුපිරි එල් නිනෝ සංසිද්ධියක් ඇති වීමට 63%ක ඉහළ සම්භාවිතාවක් පවතී.
සුපිරි එල් නිනෝවක් ආවොත්
ඊසාන දිග මෝසම් වර්ෂා සමයේ සුපිරි එල් නිනෝ සංසිද්ධියක් වර්ධනය වුවහොත් සහ ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භ වන දෙසැම්බර් මාසයේ Positive IOD තත්ත්වයක් නිර්මාණය වුවහොත් සාමාන්‍ය අගයට වඩා මාසික වර්ෂාපතනය ඉහළ යා හැකිය.
වර්තමානයේ උද්ගතව පවතින තත්ත්වය මෙසේ පැහැදිලි කළ හැකිය, මේ වන විට එල් නිනෝ තත්ත්වයක් පවතී. එසේ නම් ඔක්තෝබර් – නොවැම්බර් වර්ෂාපතනය ඉහළය. අගෝස්තු මාසය වන විට Positive IOD තත්ත්වයක් නිර්මාණය වුවහොත් වර්ෂාපතනය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසදායක ආකාරයෙන් පවසා ඇත. ඒ අනුව ඔක්තෝබර් – නොවැම්බර් වර්ෂාපතනය ඉහළ යන බවට එල් නිනෝ සහ Positive IOD තත්ත්වයක් මත දැඩි විශ්වාසයක් තැබිය හැකිය. එසේම Positive IOD තත්ත්වයක් නිර්මාණය වුවහොත් දෙසැම්බර් මාසයේ වර්ෂාපතනය ඉහළ යා හැකිය.
මේ තත්ත්වය හමුවේ මහ කන්නයේ පළමු මාස තුන (වියළි කලාපයට ජලය අවශ්‍ය වැදගත්ම මාස තුන) තුළ වර්ෂාපතනය ඇති වීමට ඇති සම්භාවිතාව ඉතාම ඉහළය. මේ තත්ත්වය තුළ ‘සුපිරි එල් නිනෝවක්’ ඇති වීමේ සම්භාවිතාවක් දැකගත නොහැකිය.

2026 වර්ෂයේ පළමු අන්තර් මෝසම් සමයේ එල් නිනෝ සංසිද්ධියක් වාර්තා නොවීය. එයට හේතුව වන්නේ එය ‘ඉතාම ළදරු’ අවධියේ පසුවීමය. නමුත් අගෝස්තු වන විට එල් නිනෝ තත්ත්වයක් වර්ධනය විය හැකි වුවත් ඒ වන විට ලංකාවට බලපාන නිරිත දිග මෝසම් වර්ෂා සමය අවසන්ව ඇති අතර වියළි මාසයක් වන අගෝස්තු මාසය ආරම්භ වේ. එසේම එල් නිනෝ තත්ත්වයට ධනාත්මකව බලාපන සංසිද්ධි ඒ ආකාරයෙන්ම සිදු වුවහොත් ලංකාව තුළ නියඟයේ ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන ගංවතුර තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාවක් ද පවතී. එසේම යම් යම් හේතු මත අගෝස්තු මාසය වන විට ජනතාවට වියළි කාලගුණ තත්ත්යකට මුහුණ දීමට ද අවස්ථාවක් පවතී.
එසේම අධික වර්ෂාපතනයකට ද මුහුණ දීමට සිදුවීමේ සම්භාවිතාවක් ද පවතින අතර මීට පෙර ද මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇත. මේ සඳහා හොඳම නිදසුන වන්නේ 1958 මහා ගංවතුරයි. 1957 දෙසැම්බර් 25 වැනි දින අනපේක්ෂිත සිද්ධියක් වූ අතර Moderate එල් නිනෝ තත්ත්වයක් ඒ සමයේ තිබූ බව වාර්තා වේ. මේ අවස්ථාවේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 300කට අධික ප්‍රමාණයක් විනාශයට පත් වූ අතර, හඹරණ පොලිසියේ වහළය දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇත.
සුපිරි එල් නිනෝ තත්ත්වයක් ඇති වීමට 63%ක සම්භාවිතාවක් පවතින බව ඉහත දී පැහැදිලි කරන ලද අතර එල් නිනෝ තත්ත්වයක් උද්ගත වුවහොත් IOD තත්ත්වයක් අනිවාර්ය ඉහළ අගයක් පවතින බව පහත සටහන අනුව පැහැදිලි වේ.

වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින තත්ත්වය සුපිරි එල් නිනොවක් නම් මේ වසරේ අගෝස්තු මාසයෙන් පසු IOD අගය ඉහළ යන බව මේ වන විට උපකල්පනය කර ඇත. ඒ අනුව මේ වසරේ ද ‘හොඳ’ IOD තත්ත්වයක් ඇතිවනු ඇතැයි උපකල්පනය කළ හැකිය.
MJO තත්ත්වයන් අට

මැඩන් – ජූලියන් දෝලන අවධීන් (Maden – Jullian Oscillation Phases) අට ඉහත ඡායාරූපයේ දැක්වේ.
මෙහි පළමු අවධියේ ලංකාවට වර්ෂාපතනයක් නොලැබෙන අතර සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතී. දෙවන අවධියේ දී ලංකාවට සැලකිය යුතු ඉහළ වර්ෂාපතනයක් ලැබෙන අතර අවධි 03,04 ද (කොළපාට) ඉහළ වර්ෂාපතනයක් ලැබේ.
05 සහ 06 අවධි වල (දුඹුරු පැහ) අධික වියළි කාලගුණයක් පවතින අතර 06 අවධිය ද අධික වියළි කාලගුණයක් පවතින අතර 08 අවධිය තුළ සාමාන්‍ය තත්ත්වයක් පවතී. ඉහත රූප සටහන ඉදිරි කාලගුණය ගැන අනාවැකි පළ කිරීමට යෝග්‍ය රූප සටහනක් ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් එල් නිනෝ තත්ත්වය හේතුවෙන් දෙවන අන්තර් මෝසම් වර්ෂාපතනය වැඩි වෙන අතරඉන්දියන් සාගර ඩයිපෝලය (Indian Ocean Dipole – IOD හේතුවෙන් එම වර්ෂාපතනය තව දුරටත් වර්ධනය වේ.
එල් නිනෝ සංසිද්ධිය ‘තනිව නොහැසිරෙන’ බවට මුලින් ඉදිරිපත් කළ තර්කය සනාථ කිරීමට මේ අවස්ථාව යොදා ගත හැකිය.

මුලින් සඳහන් කළ ආකාරයට 2026 වර්ෂයේ මාර්තු – අප්‍රේල්, යල කන්නයේ පළමු මාස දෙකට එල් නිනෝ සංසිද්ධියට කිසිම සම්බන්ධතාවක් නොදක්වන නමුත් ඉතාම පැහිදිලිව සුපිරි එල් නිනෝවක් පැමිණි පසු 2027 යල කන්නයේ පළමු අන්තර් මෝසම අඩාල වීමේ ඉහළ හැකියාවක් පවතී. එම නිසා 2027 වර්ෂයේ එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීමට මෙතැන් සිට සූදානම් වීම අවශ්‍යවේ. මෙවර ලංකාවට ‘හොඳ මහ කන්නයක් ලැබෙන්නේ නම් එය එල් නිනෝ, IOD සහ IJO හේතුවෙන් වන අතර මෙම කන්නයේ ලැබෙන ජලය ඉතාම අරපරිස්සමින් සහ උපායමාර්ගිකව පාවිච්චි කළ යුතු තත්ත්වයක් පවතී.
මේ නිසා මහ කන්නයේ සියලු වාරිමාර්ග වල ජලයෙන් 50%කට වඩා ඉතිරි කර ගත යුතු අතර අහසින් වැටෙන වර්ෂාව නිවැරදි ලෙස ප්‍රයෝජනයට ගැනීමට වඩ වඩාත් වග බලා ගත යුතුය. එසේ කළ හොත් කුමන කාලගුණික තත්ත්වයක් යටතේ වුව ද 2027 දී ද සාර්ථක යල කන්නයක් ලබා ගත හැකිය. එසේම මෙහිදී තවත් කරුණක් සිහිපත් කළ යුතුය. ඒ සුපිරි එල් නිනෝ සංසිද්ධියකින් පසු එළඹෙන යල කන්නය ‘තරමක් අවදානම්’ සහ අභියෝගාත්මක එකක් බවය. විශේෂයෙන් ජල සම්පත රැක ගැනීමට අප මෙහි දී වැඩි අවධානයක් යොමු කළ
සාමාන්‍ය තත්ත්වය තුළ එල් නිනෝ සංසිද්ධියක් බහුලව වාර්තා වන්නේ නැගෙනහිර පැසිෆික් සාගරයේය. එම තත්ත්වය නැගෙනහිර පැසිෆික් එල් නිනෝ (Eastern Pacific El Niño – EPE) යන නමින් හැඳින්වේ.

(නැගෙනහිර පැසිෆික් එල් නිනෝවක් (Eastern Pacific El Niño – EPE) යනු සමකයට ආසන්න නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය උණුසුම් වීමයි. මෙම සංසිද්ධිය සිදුවන්නේ වෙළඳ සුළං දුර්වල වන විටය, එමඟින් උණුසුම් මතුපිට ජලය ඇමරිකාව දෙසට මාරු වීමට ඉඩ සලසයි. එය දැනට සැලකිය යුතු සිදුවීමක් දක්වා ශක්තිමත් වෙමින් පවතින අතර, ප්‍රධාන ගෝලීය කාලගුණ විෂමතා ඇති කරයි).
නමුත් සමහර වර්ෂවල මේ තත්ත්වය වෙනස් වීමකට ලක්වේ. උෂ්ණත්වය ඉහළ යාම මධ්‍යම පැසිෆික් සාගරයට පැමිණෙන අතර ( ඉන්දුනීසියාවේ සිට නැගෙනහිර දෙසට) මේ සංසිද්ධියේ ද දකුණු ඇමෙරිකානු මුහුද එතරම් උණසූම් වීමකට ලක් නොවේ. එනිසා මෙම කලාපයේ මසුන් මියයාම වැඩි වශයෙන් නිරීක්ෂණය නොවේ. මෙම තත්ත්වය ‘මධ්‍යම පැසිෆික් එල් නිනෝ’ ලෙස හැඳින්වෙන අතර මෙවැනි තත්ත්වක් නිර්මාණය වුවහොත් මාර්තු – අප්‍රේල් වර්ෂාපතනයේ අඩුවීමක් සිදුනොවේ. නමුත් මෙවර මේ සම්බන්ධයෙන් උනන්දුව වීමක් අවශ්‍ය නොවේ. ඊට හේතුව වන්නේ මෙවර පවතින්නේ මධ්‍යම පැසිෆික් එල් නිනෝ තත්ත්වයක් නොව නැගෙනහිර පැසිෆික් එල් නිනෝ සංසිද්ධියකි. එනිසා මාර්තු – අප්‍රේල් වර්ෂාව සම්බන්ධ සාකච්ඡාව මෙහිදී අදාළ වැදගත් නොවේ.

ඉන්දියන් සාගරයේ එල් නිනෝ තත්ත්වයන් / El Nino conditions over the Indian ocean
එල් නිනෝ සංසිද්ධිය සමඟ නිර්මාණය වන ප්‍රධාන සිද්ධිය වන්නේ පරිසර උෂ්ණත්වය ඉහළ යාමය. එය සිදුවන්නේ, වෙළෙඳ සුළං දුර්වල වීම හේතුවෙන් ඉන්දියන් සාගරයේ වාෂ්පීකරණය අඩුවන අතර ඒ හේතුවෙන් වාෂ්පීකරණය සමඟ වන සිසිල් වීම සිදුනොවේ. ඒ සමඟ මෙම ප්‍රදේශවල වර්ෂාපතනය අඩු වන අතර (නිරිතදිග මෝසම් සහ අන්තර් මෝසම්) දිවා කාලය වළාකුළුවලින් තොර වේ. ඒ හේතුවෙන් පරිසර උෂ්ණත්වය විශාල ලෙස ඉහළ යන අතර සාගරය ද විශාල ලෙස උණුසුම් වේ, සුළං රහිත වේ. මේ සමඟ මෙම ප්‍රදේශවල ජනතාවට ‘ඇඟට දැනෙන උණුසුමකට’ නිරාවරණය වීමට සිදුවේ. මේ තත්ත්වය තුළ ලංකාවේ ජනතාවට, මාර්තු, අප්‍රේල්, ජූනි සහ ජූලි මාසවල ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී. මෙය කෘෂිකර්මාන්තය, ජල සම්පාදනය වැනි ක්ෂේත්රවලට පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්රය ද ඇතුළු සියලුම ක්ෂේත්රවලට බලපෑම් කරයි.
අවසන් පණිවිඩය
ලංකාවේ දේශගුණය බලපාන ප්‍රධාන සාධකය එල් නිනෝ නොවේ. එසේම එල් නිනෝ සංසිද්ධියෙන් ශ්‍රී ලංකාවට ‘විශාල’ බලපෑමක් සිදු නොවන නමුත් ඉන්දියාවට විශාල බලපෑමක් සිදුවන බව ගණනය කර ඇත. ඊට හේතුව වන්නේ ඉන්දියාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් 80%ක් ලැබෙන්නේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන් වීමය. නමුත් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් නිරිතදිග මෝසම් දායකත්වය 30%ක් පමණ වේ.
නමුත් ඉන්දියාව දැඩි එල් නිනෝ තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉහළ අවදානමකට ලක්විය හැකිය.
එසේම 2027 යල කන්නේ (මාර්තු – අප්‍රේල්) බලපෑම සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමට සිදුවන අතර පරිසර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් සිදුවන ඍජු බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුව තිබේ. (මෙම ඉහළ උෂ්ණත්වය ඇති වීමට 95%ක සම්භාවිතාවක් තිබේ). මෙහි ඍජු බලපෑම සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්රයකටම තිබෙන අතර වක්‍ර බලපෑම් ලෙස ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවේ.
විශේෂයෙන් ඉන්දියාව සිය කෘෂි නිෂ්පාදන අපනයනය තහනම් හෝ පාලනය කළහොත් (විශේෂයෙන් ලොකුළුෑණු, අර්තාපල් සහ පරිප්පු) ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවයට නොසිතූ බලපෑමක් එල්ල විය හැකිය.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ඉන්දියාවට එල් නිනෝ දේශගුණික යථාර්ථයක් වුව ද ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන එකම සංසිද්ධිය එල් නිනෝ නොවන බවය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘එල් නිනෝ ආශ්රිත කාලගුණික යථාර්ථය’ යන තේමාව යටතේ පසුගිය ඉරිදා සංවිධානය කළ කතිකාව 278 වැනි වැඩසටහනේ දී ආචාර්ය රංජිත් පුන්යවර්ධන මහතා (හිටපු කාලගුණ විද්‍යාඥ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) විසින්දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
මෙම වැඩසටහනේ සම්පත්දායකයෙකු වූ සරත් ප්‍රේමලාල් කෙහෙලැල්ල (හිටපු අධ්යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව) විසින් දක්වන ලද අදහස් https://midpoint.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%9d%e0%b6%b4%e0%b7%9a%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%89%e0%b6%9a%e0%b7%8a%e0%b7%80%e0%b6%af%e0%b7%9d/ සහ https://midpoint.lk/%e0%b6%91%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%b1%e0%b7%9d-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd/ ඔස්සේ පරිශීලනය කළ හැකිය.
සටහන – තුෂාල් විතානගේ
















