ඉදිරි වසර 10 තුළ රට ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා ගෙන යාම රජයේ ඉලක්කයයි – නියෝජ්‍ය ඇමැති චතුරංග

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය වැනි අංශ හරහා ඉදිරි වසර 10 තුළ අපේ රට ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා ගෙන යාම රජයේ දැවැන්ත ඉලක්කය බවත් ශ්‍රී ලංකාව සමඟ එක්වී මෙම නව පරිවර්තනයේ කොටස්කරුවෙකු වන ලෙස මුළු ලෝකයටම ආරාධනා කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවසුවේය.

ඊයේ (20) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විදේශ ආයෝජන සහ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ විශේෂ සැසියකට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම සැසියේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොළේ ස්ථාවර සහ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ස්ථාපිත කිරීම සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් චතුරංග අබේසිංහ මහතා මෙසේ ද පැවසුවේය, “ඇත්තටම ශ්‍රී ලංකාව සුන්දර වෙරළ තීරයන් සහිත සංචාරක පාරාදීසයක් පමණක් නොවේ, දැන් මේ රටේ විශාල ආර්ථික පරිවර්තනයක් සිදුවෙමින් පවතී. පසුගිය දශක කිහිපය තුළ අප මුහුණ දුන් අඳුරු මතකයන්, දූෂණය සහ ආර්ථික අභියෝග අමතක කර, ශ්‍රී ලාංකිකයන් දැන් විනිවිදභාවයෙන් යුත් ගමනක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

රජය දැනට අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය සහ ඩිජිටල් තාක්ෂණය වැනි සියලුම අංශවල මූලික ප්‍රතිසංස්කරණවලට භාජනය වෙමින් පවතී. වියට්නාමය, දකුණු කොරියාව සහ ඉන්දියාව වැනි වේගයෙන් වර්ධනය වන රටවල් සමඟ ශ්‍රී ලංකාව උරෙන් උර ගැටී මට්ටමට ඔසවා තැබීම අපගේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙන අයට අපේ රටේ භූගෝලීය පිහිටීම නිසා ආසියාවේ ප්‍රධාන මධ්‍යස්ථානය (කේන්ද්‍රස්ථානය) ලෙස විශාල ප්‍රතිලාභ ලබා ගත හැකිය. ලෝකයට වටිනා සම්පතක්, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ, නිෂ්පාදන අංශය සහ පර්යේෂණ කටයුතු සඳහා එය සුවිශේෂය.

තාක්ෂණය සහ නවෝත්පාදනය අපේ රටේ DNA තුළ ඇත. වසර දහස් ගණනකට පෙර සිගිරිය වැනි නිර්මාණ නිර්මාණය කළ ඉංජිනේරු කුසලතාව තවමත් අප සතුව ඇත. ඒ නිසා අපට නවීන තාක්‍ෂණයෙන් ලෝකය ජය ගැනීමට සහජ හැකියාවක් තිබෙනවා.

මේ ගමනේදී අපි ලොව පුරා අනෙකුත් රටවල් සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනඟා ගැනීමට උපරිම උත්සාහයක් දරනවා. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා, පවතින දේශීය ව්‍යාපාර සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් තාක්ෂණය සහ වෙළඳපොළ පහසුවෙන් ජය ගත හැකියි.

කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය වැනි අංශ හරහා ඉදිරි වසර 10 තුළ අපේ රට ඩොලර් බිලියන 300ක ආර්ථිකයක් කරා ගෙන යාම අපගේ දැවැන්ත ඉලක්කයයි. ශ්‍රී ලංකාව සමඟ එක්වී මෙම නව පරිවර්තනයේ කොටස්කරුවෙකු වන ලෙස අපි මුළු ලෝකයටම ආරාධනා කරමු” කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website