ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ House Democracy Partnership (HDP) සහ එක්සත් ජනපද කොංග්රස් අයවැය කාර්යාලය (Congressional Budget Office (CBO)) සමඟ එක්ව “පාර්ලිමේන්තුවේ අයවැය හා ආර්ථික විශ්ලේෂණය ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ සතියක් පුරා පැවති තාක්ෂණික සහාය හුවමාරු වැඩසටහන 2026 ජූනි මස 08 වන දා සිට 12 වන දා දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මූල්‍ය අධීක්ෂණය, අයවැය විශ්ලේෂණය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (Parliamentary Budget Office – PBO) පිහිටුවීම සඳහා ඇති හැකියාව පිළිබඳව මේ වන විට සිදු කෙරෙමින් පවතින සාකච්ඡා සඳහා ද සිය සහයෝගය ලබා දෙන ලදී.
ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය නියෝජනය කරමින් House Democracy Partnership (HDP)හි මේගන් මුවර් (Ms. Meagan Moore) මහත්මිය සහ එක්සත් ජනපද කොංග්රස් අයවැය කාර්යාලයේ (CBO) මේගන් කැරොල් (Ms. Meg0an Carroll) හා ක්‍රිස්ටි හෝලි ඇන්තනි (Ms. Christi Hawley Anthony) යන මහත්මීන් මේ සඳහා එක්ව සිටියහ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ජේන් හොවෙල් (Ms. Jayne Howell) මහත්මිය ඇතුළු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ද මෙම වැඩසටහන් සඳහා සහභාගි වී සටියහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාරක සභා කාර්ය මණ්ඩල සාමාජිකයින්, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා ආර්ථික පාලනයට අදාළ ප්‍රධාන රාජ්‍ය ආයතනවල නියෝජිතයින් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ.
මෙම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය හමු වී, පාර්ලිමේන්තු අධීක්ෂණය ශක්තිමත් කිරීම, ආයතනික හැකියාව වර්ධනය කිරීම සහ සාක්ෂි මත පදනම් වූ මූල්‍ය තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී. මෙහි දී ධාරිතා සංවර්ධන වැඩසටහන්, මහජන සහභාගීත්වය, කාර්යක්ෂම කාරක සභා අධීක්ෂණය සහ පාර්ලිමේන්තු සහායක සේවාවන් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කෙරිණි.
මෙම නියෝජිත පිරිස විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතාව ද හමු වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ස්වාධීන මූල්‍ය හා අයවැය විශ්ලේෂණ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් ඇතුළුව, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණයේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන පියවරයන් පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අනුග්‍රහය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා වැඩසටහන පිළිබඳව හඳුන්වාදීමේ සැසියක් ද මෙහි දී පැවැත්විණි. සංගමයේ උප සභාපති, ප්‍රවාහන හා මහාමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ද , කාරක සභා කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගි වූහ.
මෙහි දී, ඇමරිකා එක්සත් ජනපද නියෝජිත පිරිස විසින් එක්සත් ජනපද කොංග්රස් අයවැය කාර්යාලයේ (CBO) ආයතනික කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ ඉදිරිපත් කිරීම් (Presentations) සිදු කරන ලදී. කොංග්රස් අයවැය ක්‍රියාවලිය සඳහා ලබාදෙන සහාය, පනත් කෙටුම්පත්වල පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම, අයවැය සහ ආර්ථික පුරෝකථන සකස් කිරීම මෙන්ම විනිවිදභාවය, විශ්වසනීයත්වය සහ පක්ෂග්රාහී නොවන ස්වාධීනත්වය යන මූලධර්මයන් ඇතුළු කරුණු කාරණා පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.
මෙම අන්තර්ක්‍රියාකාරී සැසි මාලාව තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය, අයවැය විමර්ශනය, ආර්ථික විශ්ලේෂණය සහ ව්‍යවස්ථාදායක අයවැය ආයතන සම්බන්ධ වැදගත් ජාත්‍යන්තර භාවිතයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව ද හිමි විය. පාර්ලිමේන්තු කාරක සභා කාර්ය මණ්ඩලය සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද සැසිවලදී විශ්ලේෂණ ක්‍රමවේද, පර්යේෂණ සහාය කාර්යයන්, අයවැය විශ්ලේෂණයේදී තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම මෙන්ම පාර්ලිමේන්තුව සහ අධීක්ෂණ ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ උපායමාර්ග පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
එම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා (CoPF) රැස්වීමේ කටයුතු ද නිරීක්ෂණය කරන ලදී. ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති එම රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. එම රැස්වීම මඟින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයන් සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව ක්‍රියාවලීන් පිළිබඳව එම නියෝජිත පිරිසට සෘජු අවබෝධයක් ලබාගැනීමට ද අවස්ථාව සැලසිණි.
මෙම වැඩසටහන අවසානයේ දී පැවති සාරාංශගත වැඩමුළුවේදී, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් (Parliamentary Budget Office – PBO) පිහිටුවීම සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා ගත හැකි කෙටි, මධ්‍ය හා දිගුකාලීන පියවරයන් ඇතුළත් මූලික සැලැස්මක් ද සකස් කරන ලදී.
මෙම තාක්ෂණික සහාය වැඩසටහන මඟින්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය සහ අයවැය විශ්ලේෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි. තවද වගකීම්සහගත, විනිවිදභාවයෙන් යුතු සහ සාක්ෂි මත පදනම් වූ පාලනයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එහි ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ද මෙම වැඩසටහන ඉවහල් විය.














