අපි කළ වැරදි මේ ආණ්ඩුවත් කළ යුතු නැහැ – ලසන්ත අලගියවන්න, හිටපු අමාත්‍ය

ප්‍රජාතන්ත්‍රවාදී රටවල මැතිවරණ මඟින් කලින් කලට ආණ්ඩු බලයට පත්කර ගන්නවා. ලංකාවෙත් පසුගිය 76 වසර පුරා අඛණ්ඩව මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් ආණ්ඩු මාරු වුණා. පසුගිය 2024 ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී ජනතාව එතෙක් රට පාලනය කළ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අන්ත පරාජයකට පත්කරලා අලුත් කණ්ඩායමකට ලබන දුන්නා. නමුත් ඔවුන් රාජ්‍ය පාලනයට නවකයින් වුණත් දේශපාලනයට නවකයින් වුණේ නැහැ. 1965 සිට දේශපාලනය කළ, අවස්ථා දෙකකදී ත්‍රස්තවාදී ක්‍රියා මඟින් රාජ්‍ය බලය පැහැර ගැනීමට තැත් කළ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් ජාතික ජන බලවේගය ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් ජනතාව පත්කර ගත්තා. ඊට පස්සේ පළාත් පාලන ආයතනවලත් සාපේක්ෂ බහුතර බලය ඒ පක්ෂයටම ලබා දුන්නා. නමුත් මෙහි ඇති විශේෂත්වය තමයි මෙවර ආණ්ඩු මාරුව සිදු වුණේ ප්‍රතිපත්ති හෝ දේශපාලන වැඩපිළිවෙළක් මත නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය විසින් ලබා දුන් අසීමිත පොරොන්දු සහ ඔවුන් වැපිරූ දේශපාලනය වෛරය සහ බොරුව මත පදනම් වෙලා තමයි ජනතාව ඔවුන්ට බලය ලබා දුන්නේ. මේ අසීමිත පොරොන්දු විශ්වාස කළ ජනතාව ‘වෙනසක්’ අපේක්ෂාවෙන් තමයි අලුත් ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පත්කර ගත්තේ. නමුත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැතිවරණයේ දී ලබා දුන්න කිසිම පොරොන්දුවක් ඉටු කිරීමට සමත් වෙලා නැහැ. ඔවුන් පොරොන්දු වුණ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් අද ඉතිහාසයේ කුණු බක්කියට විසි කරලා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අමුතුම ගමනක් යනවා. මේක ජනතාව අපේක්ෂා කළ වෙනස හෝ ආණ්ඩුව නෙමෙයි. ජනතාවගේ අපේක්ෂාවන්ට සම්පූර්ණයෙන් පටහැනි, ජනවරමට විරුද්ධ ආණ්ඩුවක්. ‘රටට මොකද වෙන්නේ ?’ කියලා ජනතාව අහන්නේ මේ අපේක්ෂාභංගත්වය නිසයි. රට ආපස්සට ගමින් තිබෙන බව දැන් ජනතාවට වැටහෙන්න පටන් ගෙන තිබෙනවා. තමන්ව රවටපු බව අද ජනතාව තේරුම් ගෙන තිබෙනවා. අද ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ මුහුණු දිහා බලන විට මේ ස්වභාවය මනාව පැහැදිලි වෙනවා. දැන් ඉන්නේ දැඩිව අපේක්ෂාභංගත්වයට පත් වුණ ජනතාවක් සහ කිසිවක් කර කියා ගන්න හැකියාවක් නැති බෙලහීන ආණ්ඩුවක් සහ විශ්වාසයභංග කරගත් ජනාධිපතිවරයෙක්.

මම හිතන්නේ අනුර කුමාර දිසානායක හෝ ජනතා විමුක්ති පෙරමුණ හිතුවේ නැහැ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා, ඒ වගේම මහ මැතිවරණයේ දී මේ තරම් විශාල ජයග්‍රහණයක් ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ.  තමන්ට බලය ලැබෙයි කියලා අවම විශ්වාසයක් හෝ නොමැතිව දෙන්න පුළුවන් පොරොන්දු දහස් ගණනක් ලබා දුන්නා. ඒත් ඔවුන්ට නොසිතූ ලෙස බලය ලැබුණා. සමස්ත ඡන්දවලින් 43%ක් ලබා ගත්ත අනුර කුමාර ජනාධිපති වුණා. ඒත් පළමු වටයෙන් නෙමෙයි, දෙවැනි මනාපය ගණන් කිරීමෙන් තමයි ඔහු ජනාධිපති වුණේ. මෙවැනි අති සුළුතර ජනාධිපතිවරයෙක් මේ ලෝකයේ නැහැ. ජනාධිපතිවරණ ජයග්‍රහණය සමඟ ඉතාම කෙටි කාලයක් තුළ මහ මැතිවරණය තිබුණ නිසා අති විශාල ජයග්‍රහණයක් ලබා ගත්තේ. මම මේ හරහා පැහැදිලි කරන්න හදන්නේ අනුර කුමාර දිසානායක දුන්නේ ඉටු කරන්න නොහැකි සහ කිසිම සැලසුමක් නැති පොරොන්දු. නමුත් අනපේක්ෂිත ලෙස ඔවුන් ජයග්‍රහණය කළා. ඒ නිසා තමයි අර පොරොන්දුවලින් අති බහුතර ප්‍රමාණයක් ඉටු කරනවා තියා ඒවා ගැන හිතන්නවත් නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙන්නේ.

සිද්ධාලේප වෙද මහත්තයත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණානේ. එතුමත් ඉදිරිපත් වුණේ ජයග්‍රහණය කරන්න ආසාවෙන්. එතුමා කිසිම අවස්ථාවක තමන් පරාජය වන බව කිව්වේ නැහැනේ. නමුත් ඔවුන් ඇත්ත දන්නවා. ජවිපෙත් ඒකමයි කළේ. 3%ක ජාතික ඡන්ද පදනමක් තියා ගෙන ආණ්ඩුවක් හදන්න, විධායක ජනාධිපති වෙන්න පුළුවන් වෙයි කියලා ජවිපෙ කිසිම දාක හිතුවේ නැහැ. නමුත් ඔවුන් සෑම අවස්ථාවකම රාජ්‍ය බලය ඉල්ලුවා. ඒක දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථිර ඡන්ද පදනමක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, නැතිනම් පොහොට්ටුව බිහි වුණේ. තවත් පක්ෂ ගණනවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උපත ලබා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පොහොට්ටුවට ඡන්දය දුන්න 90%ක්ම මාළිමාවට ඡන්දය ලබා දුන්නා. 2019 දී, ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වුණ ජනාධිපතිවරණයේ දී ඔහුට ගම්පහින් ඡන්ද ලක්ෂ 8.5ක් පමණ ගම්පහින් දිනා ගත්තා. ජවිපෙ අපේක්ෂකයා අනුර කුමාරට ලැබුණේ ඡන්ද 53,000ක් පමණ ප්‍රමාණයක්. නමුත් 2024 දී ඒක කණපිට පෙරළුණා. අනුර කුමාර දිසානායක ඡන්ද 850,000ක් දිනා ගන්න කොට අපිට ලැබුණේ ඡන්ද 53,000ක් පමණ ප්‍රමාණයක්. මෙහි අදහස තමයි වමට බර ඡන්ද තමයි තොග පිටින් අනුර කුමාරට ගියේ.

මුලින්ම කියන්න ඕනෑ අපි නිදහස දිනාගත් දා සිට දිනාගත් බොහෝ දේවල් තිබෙනවා. අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, රාජ්‍ය සේවය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධිත රටක තත්ත්වයට ආසන්නයේ තිබෙනවා. අපේ මානව සංවර්ධනය ඉතාම ඉහළ මට්ටමක තිබෙන්නේ. අපි මේවා දිනා ගත්තේ ජවිපෙ විසින් ඇති කළ සන්නද්ධ අරගල දෙකක මහ දැවැන්ත විනාශයක් මැදින්, බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සමඟ අවුරුදු 30ක් පුරා යුද්ධයක් කරමින්. ඒ නිසා දිනා ගත් ජයග්‍රහණ ගැන නිහතමානීව සතුටු වෙන්න පුළුවන්කමක් අපට තිබෙනවා. නමුත් අපට මීට වඩා බොහෝ දුරක් යන්න තිබුණා. නමුත් ජවිපෙ ඇති කළ සන්නද්ධ කැරළි දෙක, 30 අවුරුදු සිවිල් යුද්ධය නිසා අපට බොහෝ සම්පත් සහ අවස්ථා අහිමි වුණා. මේ අහිමි වීම් වලට පසුගිය අවුරුදු 76ක කාලය පුරා ආණ්ඩු කළ දේශපාලන පක්ෂත් වගකිව යුතුයි. නමුත් දැවැන්තම විනාශය කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ බෙදුම්වාදී කොටි සංවිධාන විසින්. අදත් සක්‍රීය දේශපාලනයේ නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණ 1971 සහ 1988-89 විනාශය ගැන වගකීම භාර ගත යුතුයි. උතුරේ බෙදුම්වාදයට ආදර්ශය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව අපි කවුරුත් දන්නවා.

ඔව්, මැදපෙරදිග යුද්ධය ඍජුව බලපාලා තියෙන්නේ ඉන්ධන මිල ඉහළ යාමට පමණයි. ඒත් ආණ්ඩුව කියන ප්‍රතිශතකයින් ඉන්ධන මිල ඉහළ ගිහින් නැහැ. මේ පසුබිම තුළ පවා විදේශ ප්‍රේෂණ, සංචාරක ව්‍යාපාරය, අපනයන කටයුතු සැලකිය යුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙනවා. නමුත් අද ආණ්ඩුව මැදපෙරදිග අර්බුදය ගැන මැසිවිලි කියමින් තමන්ගේ සෑම නොහැකියාවක්ම වසා ගන්න හදනවා. මැදපෙරදිග යුද්ධය අද ආණ්ඩුවට ආශිර්වාදයක් වෙලා, කෝකටත් තෛලය වෙලා. නමුත් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය තුළ අපි සැලකිය යුතු ආර්ථික වර්ධනයක් දිනා ගත්තා. ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරමින්, ජිනීවා බලපැම්වලට මුහුණ දෙමින් තමයි මහින්ද රාජපක්ෂ යුගයේ දැවැන්තම සංවර්ධනයක් සිදු වුණේ. එදා ජනතා විමුක්ති පෙරමුණ මේ සෑම සංවර්ධන කටයුත්තකටම විරුද්ධ වුණා, බාධා කළා. අපි කවුරුත් දන්නවා අධිවේගී මාර්ගවලට විරුද්ධව ජවිපෙ කොපමණ කෙණහිලිකම් කළා ද කියලා, උමා ඔය ව්‍යාපාරයට මොන තරම් බාධා කළා ද කියලා. ආසන්න කාලය ගත්තත්, ගෝඨාභය රාජපක්ෂ යුගයේ තමයි රුසියානු – යුක්ක්‍රේන යුද්ධය ආරම්භ වුණේ. ඒ අවස්ථාවේ ඉන්ධන මිල අහස උසට ගියා, ඒ වගේම ගෝලීය කොවිඩ් වසංගතය තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෝලීය යුද්ධ දෙකකට මුහුණ දුන්නා. එදා ජනතා විමුක්ති පෙරමුණ අන්ත අවස්ථාවාදී ලෙසයි කටයුතු කළේ. ලංකාවට ඩොලර් එවන්න එපා කියලා ප්‍රසිද්ධියේ විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියා, බදු නොගෙවන ලෙස ජනතාවට බල කළා. ඔවුන් එදා  ආණ්ඩුවට එරෙහිව මොනවද නොකළේ, ජනතාව කුපිත කරන්න මොනවද නොකළේ. ජවිපෙ දැඩි බාධා කිරීම් මැද පවා 2022 දී කඩා වැටුණු ආර්ථිකය ඉතාම කෙටි කාලයකින් යළි යථා තත්ත්වයට පත් කිරීමට අපට හැකියාව ලැබුණා. විදේශ සංචිත ඩොලර් බිලියන හයක් දක්වා වර්ධනය කළා, රුපියල අවප්‍රමාණය වීම සහ උද්ධමනය පාලනය කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගත වුණා, ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළා, නව බදු ප්‍රතිසංස්කරණ තුළින් යළි රාජ්‍ය ආදායම ඉහළ නංවා ගත්තා, ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ නංවා ගෙන තිබුණා. 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අනුර කුමාර භාර ගත්තේ ස්ථාවර වෙමින් පැවති ආර්ථිකයක් මිස ඔවුන් අද කියන ආකාරයට බිඳ වැටිලා තිබුණ දුර්වල ආර්ථිකයක් සහිත රටක් නෙමෙයි.

ඔව්, ජනතා විමුක්ති පෙරමුණ 2022 ආර්ථික අර්බුදයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ සියලුම ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වුණා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කරන විට ඒකට විරුද්ධව ඡන්දය දුන්නේ ජවිපෙ මන්ත්‍රීවරු තුන් දෙනා පමණයි. ඒ වගේම අද ඔවුන් ඉන්ධන අර්බුදයෙන් ගොඩ ඒමට කිසිම ලැජ්ඡාවක් නැතිව භාවිතා කරන QR ක්‍රමයට ඔවුන් මොන තරම් අපහාස කළා ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම මොන තරම් විවේචනය කළා ද, නව බදු ප්‍රතිපත්තිය කොතරම් හෙළා දැක්කද ?, ඒ සියල්ල කළ ජනතා විමුක්ති පෙරමුණ අද ඒ සියලු ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ ලබා ගන්නවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රති තර්කවලට කිසිම පදනමක් නැහැ.

ඒ ප්‍රකාශය ඇසෙන විට මට ඇතිවෙන්නේ හාස්‍යජනක හැඟීමක්. ඒකට හේතුව තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවට ඉතාම පැහැදිලිව කිව්වා මේ අර්බුදයෙන් ගොඩඒමට සැලකිය යුතු කාලයක් අවශ්‍යයි කියලා. ඔහු ආර්ථිකය යන ගමන සමාන කළේ වැල් පාලමේ යන ගමනකට. එහි අදහස වුණේ ඉතාම කල්පනාකාරීව, දුර දිග බලා, සූක්ෂම ලෙස ආර්ථිකය කළමනාකරණය කළ යුතු බවයි. නමුත් ජවිපෙ එදා රනිල් වික්‍රමසිංහගේ ඒ ප්‍රකාශයට හිනා වුණා. 2048 දක්වා දීර්ඝ කළ සංවර්ධන ඉලක්ක වලට අපහාස කළා. නමුත් දෛවෝපගත ලෙස ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ගිය පාරෙම යන්න වුණා. එක අඩියක් වෙනස් නොකර ඒ ගමන යන්න වුණා. ඒ වගේම සංවර්ධන ඉලක්ක දීර්ඝ කිරීමට සිදු වුණා. දැන් ඔවුන් රට සංවර්ධනය කරන්න අවුරුදු 20ක් කාලය ඉල්ලනවා. ඒ කියන්නේ 2046 දක්වා බලය ඉල්ලනවා. රනිල් සහ අනුරගේ ගමනේ කිසිම වෙනසක් නැහැ.

ඔවුන් එසේ ප්‍රකාශ කළත් මේ වන විට ජනතාව ඒ ප්‍රකාශ පිළිගන්නේ නැහැ. මේ ආණ්ඩුව ඉතාම සංවිධානාත්මකව වංචා සහ දූෂණ කටයුතුවල නිරතව සිටිනවා. කන්ටේනර් 323 සිද්ධියේ සිට බාල ගල් අඟුරු වංචාව දක්වා, මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව දක්වා අසීමිතව වංචා සහ දූෂණ සිදු වෙනවා. ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව සහ දූෂණය ලෙස සැලකෙන බාල ගල් අඟුරු ආනයනය මෙහි එක ප්‍රකාශනයක් පමණයි. ඒ හරහා රටට ඍජුව සහ වක්‍රව අහිමි වුණ මුදල අති විශාලයි. අද බාල ගල් අඟුරු නිසා විදුලි බල ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. රටේ සෑම පවුලක්ම මේ වංචාව නිසා ඉහළ ගිය විදුලි බිලේ කොටස්කරුවෝ වෙලා, මේ බාල ගල් අඟුරු වල දූවිලි නිසා දැවැන්ත පරිසර විනාශයක් සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම තමයි ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙමින් තිබුණත් අපේ ඉන්ධන මිල ඉහළ යනවා. ඒ ඇයි ? ඒ අකාර්යක්ෂම පරිපාලනය සහ අත්දැකීම් නොමැතිකම නිසා. ඉන්ධන, ගෑස් සහ ගල් අගුරු සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවට අත්දැකීම් නොමැකි නිසා සහ දුර්වල පරිපාලනය නිසාය. මේ ආණ්ඩුවේ අත්දැකිම් විරහිත පාලනය නිසා අසීමිත ජාතික ධනයක් රටට අහිමි වෙමින් තිබෙනවා. බලශක්ති සුරක්ෂිතතාවය බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා වගේම ඒ වෙනුවෙන් ජනතාව විශාල වන්දියක් ගෙවමින් සිටිනවා. ජනතාව මුහුණ දෙන මේ පීඩනයට ආණ්ඩුව, විශේෂයෙන් ජනාධිපතිවරයා ඍජුව වගකිව යුතුයි.

මට මතකයි ජනාධිපතිවරයා මැයි පළමු වැනිදා වේදිකාවේ දී අධිකරණ තීන්දු ගැන ඉතාම නරක ප්‍රකාශයක් කළා, ජනාධිපතිවරයෙක් නොකළ යුතු ප්‍රකාශයක් කළා. ඒත් ඔහු එදා ජනතාවට කිව්ව ආකාරයට මැයි 25 වැනිදා අත්පොළසන් දෙන්න දෙයක් නම් සිදු වුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා මේ ප්‍රකාශය හරහා අධිකරණයට බරපතළ අපහාසයක් කළා, ඒ වගේම ඔහුව හෑල්ලුවට ලක්කර ගත්තා. ඔහු කියන දේ නොකරන පුද්ගලයෙක් බව යළිත් ඔප්පු කළා. ඒ වගේම තමයි හොරකම, දූෂණය පිටුදකින බවට, දූෂිතයින්ට දඬුවම් දෙන බවට ආණ්ඩුව දුන්න ප්‍රතිඥා අද පුස් වෙඩිල්ලක් බවට පත්ව තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පවරන ලද නඩු විභාග වීම හැර මේ ආණ්ඩුව මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් කිසිම නඩුවක් පැවරීම හෝ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම කරලා නැහැ. ඒ වගේම වංචාව, දූෂණය නතර කළා නම් ඒ ප්‍රතිලාභ ජනතාවට, ආර්ථියට ගලා යා යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ද දකින්නට නැහැ. එහි අදහස තමයි මේ ආණ්ඩුව තමන්ගේ ජනවරමට යුක්තිය ඉටු නොකළ බව.

පළාත් සභා මැතිවරණයට ගියොත් ආණ්ඩුවට සිදුවන දේ ගැන ආණ්ඩුව දන්නවා. ඔවුන් පැහැදිලිව දන්නවා පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න නොහැකි බව, ඡන්ද පදනම විශාල වශයෙන් අඩුවන බව. රාජ්‍ය නිලධාරීන්, යුද හමුදාව, ගොවි ජනතාව ඇතුළු සියලුම ජන කොටස්වලින් ආණ්ඩුව බරපතළ ලෙස ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ නිසා ජනමතය විමසා බලන්න ආණ්ඩුව බයයි.

ඔව්, ඔවුන් ඒක කරනවා. නමුත් අපි මේ තත්ත්වයට ආණ්ඩුවට පමණක් දොස් කියන්නේ නැහැ, පළාත් සභා මැතිවරණය කල් දැමීමට පසුගිය ආණ්ඩු සියල්ලම වගකිව යුතුයි. නමුත් අපි කළ වරදට ජනතාවට අපට පාඩමක් ඉගැන්නුවා, ඒ වරදම මේ ආණ්ඩුවත් කළ යුතු නැහැ.

අපි පැහැදිලිව කියන්නේ පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන්න කියලා. මේක හරියට කරනවා නම් මාස තුනකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීති රීති සකස් කරලා ඡන්දය තියන්න පුළුවන්. නමුත් ඒකට රජයට වුවමනාවකුත් තිබිය යුතුයි. දැන් බෝලේ තියෙන්නේ ආණ්ඩුව අතේ. ආණ්ඩුවේ පන්දුවට මුහුණ දෙන්න විපක්ෂය සූදානමින් ඉන්නේ.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website