ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත්, එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිත නම් කර තිබේ.
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසුව ජාතික තේරීම් කමිටුව විසින් මෙම සංචිත ප්‍රකාශයට පත් කර ඇති අතර, එක්දින හා සිව්දින කණ්ඩායම් දෙකේම නායකත්වය සහන් ආරච්චිගේට පවරා ඇත. මෑත කාලයේ දේශීය ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සහන්ට මෙම නායකත්වය හිමිවීම විශේෂත්වයක් වන අතර, කණ්ඩායම් දෙකෙහිම උපනායක ලෙස අත්දැකීම් සපිරි කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල නම් කර තිබේ.
මෙම සංචිතවලට ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රැසක් ඇතුළත්ව සිටීමද විශේෂත්වයකි. තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, චාමික කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල වැනි ක්‍රීඩකයන් ඇතුළත් වී සිටිති. ඔවුන්ගේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයන්ට මහත් ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, සිව්දින තරගාවලිය සඳහා නම් කර ඇති සංචිතයට පසුගිය නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ කවිඳු පතිරත්න ඇතුළත් කර තිබීම අවධානයට ලක්ව ඇත. මීට අමතරව සිව්දින තරගාවලිය සඳහා නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දක්ෂතා දක්වන ලද පවන්ත වීරසිංහ, බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන කේෂර නුවන්ත, හංවැල්ල රාජසිංහ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිෂ්ඨ වූ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ප්‍රවීන් මනීෂ ද පළමු වතාවට ‘ඒ‘ කණ්ඩායමට තේරී පත්ව සිටිති.
දිගු ආකෘතියේ තරග සඳහා සුදුසු හැකියාවන් පෙන්නුම් කර ඇති මෙම ක්‍රීඩකයින්ව සිව්දින සංචිතයට කැඳවීම ඉදිරි ජාතික කණ්ඩායම් අවස්ථාවන් සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ.
ඊට අමතරව යාපනයේ ශාන්ත ජෝන් විදුහල නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට තේරී පත්වූ වේග පන්දු යවන කුගදාස් මාතුලන්ටද මෙවර ශ්‍රී ලංකා ‘ඒ‘ එක්දින සංචිතයට පිවිසීමට අවස්ථාව උදාවී තිබේ.
ශ්‍රී ලංකා ‘ඒ’ එක්දින සංචිතය – සහන් ආරච්චිගේ (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, අහන් වික්‍රමසිංහ, චාමික කරුණාරත්න, වනුජ සහන්, විජේකාන්ත් වියස්කාන්ත්, මොහොමඩ් ශිරාස්, දුලාජ් සමුදිත, විෂේන් හැළඹගේ, රවිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, ගරුක සංකේත්, කුගදාස් මතුලන්.
ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින සංචිතය – සහන් ආරච්චිගේ (නායක), පවන්ත වීරසිංහ, සොහාන් ද ලිවේරා, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, දිලුම් සුධීර, මොහොමඩ් ශිරාස්, චාමික ගුණසේකර, කේෂර නුවන්ත, දුලාජ් සමුදිත, ප්‍රවීන් මනීෂ, අහන් වික්‍රමසිංහ, අසංක මනෝජ්.














