ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තයට

චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක, කණ්ඩායමට විශාල පාඩුවක් සිදුකරමින් දක්ෂ යොවුන් දඟ පන්දු යවන්නිය වන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබේ.

එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු  මේ බව අනාවරණය කළාය. ඇය සඳහන් කළේ පල්ලෙකැළේදී පැවති පුහුණු සැසියකින් අනතුරුව ශෂිනිට පිටකොන්දේ ආබාධයක් ඇතිවී ඇති බවත්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඇය තරගාවලිය සඳහා රැගෙන නොයෑමට තීරණය කළ බවත්ය.

“ඇයට කොන්දේ ආබාධයක් තියෙන්නේ. ඇයට ස්කෑන් පරීක්ෂණයක් කළා. ඒකෙදි එයාට ඉන්ජරි එකක් තියෙනවා කියලා පෙනුනා. ඉතිං අපිට අවශ්‍ය නෑ ඇයව ඉන්ජරි එකත් එක්ක එයාව අරන් යන්න. මොකද ඒක වැඩි වුණොත් එයාගේ ක්‍රිකට් අනාගතයට ඒක බලපාන්න පුලුවන්. එයාව අපිට ගොඩක් වැදගත්. ඇය තවමත් අවුරුදු 17 ක ක්‍රීඩිකාවක්. ඒ නිසා තේරීම් කමිටුව සහ වෛද්‍යතුමා කතා කරලා තීරණය ගත්තේ“ යැයි චමරි පැවසුවාය.

ශෂිනිගේ ස්ථානය සඳහා වේග පන්දු යවන්නියක වන චේතනා විමුක්ති කණ්ඩායමට කැඳවා ඇත. මෙම වෙනසත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී සාම්ප්‍රදායික සංයුතියෙන් වෙනස් ප්‍රවේශයක් අනුගමනය කිරීමට සූදානම් වන බවද චමරි අතපත්තු සඳහන් කළාය.

ඇය පෙන්වා දුන්නේ මෙතෙක් බොහෝ අවස්ථාවලදී එක් වේග පන්දු යවන්නියක සහ දඟ පන්දු යවන්නියන් සිව්දෙනෙකු සමඟ කණ්ඩායම ක්‍රීඩා කළද, ප්‍රධාන පුහුණුකරු ජිමී සිඩන්ස්ගේ සැලසුම අනුව ඉදිරියේදී වේග පන්දු යවන්නියන් දෙදෙනෙකු යොදා ගැනීමට අවධානය යොමුව ඇති බවයි. එමෙන්ම පිතිකරණය ශක්තිමත් කරමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ අරමුණින් නව උපායමාර්ග අත්හදා බැලීමට කණ්ඩායම සූදානම් වී සිටී.

“අපි මෑත කාලයේ ලකුණු 160 ඉක්මවා ගිය අවස්ථා අඩුයි. නමුත් මේ තරගාවලියේදී වැඩි ලකුණු සංඛ්‍යාවක් සහිත තරග බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මුලින් පන්දුවට පහර දුන්නත්, ඉලක්කයක් හඹා ගියත් ලකුණු 160-170 අතර සංඛ්‍යාවක් ලබාගැනීම අත්‍යවශ්‍යයි“, යැයි නායිකාව සඳහන් කළාය.

තවද, පිතිකරුවන්ට නිදහසේ සහ බියකින් තොරව ආක්‍රමණශීලී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට උපදෙස් ලබාදී ඇති බවත්, එමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ කැපී පෙනෙන දියුණුවක් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දැකගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.

“අපි පිතිකාරිණියන්ට නිදහස දීලා තියෙනවා බය නැතුව බෝලෙට ගහන්න කියලා. ගොඩක් වෙලාවට කණ්ඩායමේ සංයුතිය පොඩ්ඩක් වෙනස් වෙන්න ඉඩ තියෙනව. මොකද ගොඩක් වෙලාවට  අපි තරග ක්‍රීඩා කරනකොට වේග පන්දු යවන්නියක් සහ දඟ  පන්දු යවන්නියන් හතර දෙනෙක්ගෙන් ක්‍රීඩා  කළේ. නමුත් ජිමී සිඩන්ස් කිව්ව දේ තමයි අපි ඊලඟ ස්ටේජ් එකට, ඒ කියන්නේ ටොප් ෆෝ ටීම්වලට ඇටෑක් කරන්න නම් අපි ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් එක්ක යන්න ඕන කියලා. සහ අපේ පිතිකරණ පොඩ්ඩක් වැඩි කරන්න ඕන කියලා. එතකොට අපිට හයි ස්කෝරිං ගේම් එකකට යන්න පුලුවන් කියලා“.

“මං හිතන්නේ මෙච්චර කල් තිබ්බ ස්ට්‍රැටජිල් ප්ලෑන් එකක් නොවෙයි ඒක. නමුත් අපි ඒක ට්‍රයි කරන්න බලාපොරොත්තු වෙනවා මේ තරගාවලියේදී. මං හිතන්නේ අපි ටයි කරලා බලමු. මං හිතනවා අපිට පිතිකරණය පැත්තෙන යම් කිසි හොද දෙයක් මේ තරගාවලියේදී බලාගන්න පුලුවන් වෙයි කියලා“ යනුවෙන් චමරි පවසන්නීය.

ලෝක කුසලාන තරගාවලියේදී කිසිදු කණ්ඩායමක් අවතක්සේරු කළ නොහැකි බව අවධාරණය කළ චමරි අතපත්තු, විශේෂයෙන්ම එංගලන්ත තත්ත්වයන්ට හුරුපුරුදු ස්කොට්ලන්තය සහ අයර්ලන්තය වැනි කණ්ඩායම්ද ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කළ හැකි බව සඳහන් කළාය.

“මං හිතන්නෙ ලෝක කුසලානයකට යනකොට හැම කණ්ඩායමක්ම අපිට අභියෝගයක්. විශේෂයෙන්ම එංගලන්තයේ ක්‍රීඩා කරන නිසා අපේ ගෘෘප් එකේම ඉන්නවා ස්කොට්ලන්ඩ් අයර්ලන්ඩ්. ඒගොල්ලෝ මං හිතන්නේ ආසියාවේ කන්ඩිෂන්වල සෙල්ලම් කරනවා වඩා ඒගොලලොන්ගේ කන්ඩිෂන්වල සෙල්ලම් කරද්දී හොදයි. අපිට කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බෑ. හැම කණ්ඩායමක්ම අපිට අභියෝගයක් වෙනවා“ යි චමරි සඳහන් කර සිටියාය.

ලබන @ වැනිදා ආරම්භවීමට නියමිත මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි මස 06 වැනිදා පාකිස්තානයට එරෙහිව සහ ජුනි මස 09 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතය. ජුනි මස 12 වැනිදා පැවැත්වෙන සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තරගයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන අතර එය ජූලි මස 05 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

‘බී‘ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය යටතේ එංගලන්තය හැරුණු කොට අයර්ලන්තය, නවසීලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කාන්තා කණ්ඩායම් සමග තරග වදිනු ඇත. කාණ්ඩයේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් අර්ධ අවසන් තරග වටය සදහා සුදුසුකම් ලබන අතර අවසන් මහ තරගය ජූලි මස 05 වැනිදා ඓතිහාසික ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (03 වැනිදා) රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා සංචිතය – චමරි අතතපත්තු (නායිකා), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යංගනා, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, මල්කි මදාරා, මිතලි අයෝද්‍යා, කාව්‍යා කාවින්දි, චේතනා විමුක්ති, සුගන්දිකා දසනායක, නිමාෂා මදුෂානි.

source: srilankacrucket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website