නවසීලන්ත කාන්තා A කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට තියුණු ජයක්

නවසීලන්ත කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී අද (21 දා) පැවැති පළමු විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කන්ඩායම සමත්විය. ඒ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 129ක් රැස් කළ අතර එහිදී කේට් ගේජිං නොදැවී ලකුණු 35ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය.

අද තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතරින් දුර්වල පන්දු රැකීම් කීපයක්ම වාර්තා වූ නමුත් පන්දු යවන්නියන්ගේ විනයානුකූල පන්දු යැවීම නිසා නවසීලන්ත ඉනිම ලකුණු 130 සීමාවේ රඳවා ගැනීමට හැකියාව ලැබිණ. මෙහිදී කැපී පෙනුනු චමුදි ප්‍ර බෝධා, සචිනි නිසංසලා සහ සත්‍යා සංදීපනී කඩුලු 2 බැගින් දවා ගනිමින් ප්‍රතිවාදීන්ව ඇද බැද තැබූහ.

ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව නවසීලන්ත පන්දු යවන්නියෝ දැඩි අභියෝගයක් එල්ල කළද ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුු 7 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය අත්පත් කරගත්තේ පළමු කඩුලු 6 ම ලකුණු 79 ක් තුළ බිඳ වැටී තිබියදී වීම කැපී පෙනිණ.

කෙසේ වෙතත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පියුමි වත්සලාට එකතු වූ රශ්මිකා සෙව්වන්දි පන්දු 25 කදී ලකුණු 39 ක් රැස් කරමින් ශ්‍රි ලංකා පිලට යළිත් ජයග්‍රහණයේ බලාපොරොත්තු රැගෙන ආහ. මෙහිදී අවසන් පන්දුවාර 18 දී ශ්‍රී ලංකා පිලට ලකුණු 28 ක ඉලක්කයක් හිමි වූ අතර එහිදී ක්‍රියාත්මක වුණු රශ්මිකා සෙව්වන්දි ආම්ස්ට්‍රෝංග්ගේ පන්දුවාරයකට හයේ සහ හතරේ පහර බැගින් හෙල්ල කරමින් ලකුණු 13 ක් රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට සැනසිලි දායක තත්ත්වයකට  පැමිණීමට අවස්ථාව උදාවිය.

කෙසේ වෙතත් ජයග්‍රහණයට ලකුණු 12 ක් ලබා ගැනීමට තිබියදී රශ්මිකා  දැවී ගිය අතර අවසන් පන්දුවාරයේදී ඉලක්කය ලකුණු 10 ක් බවට පත්විය. වොට්කිං යොමු කළ පළමු පන්දුව හතරේ සීමාවට යැවූ පියුමි වත්සලා ඊළඟ පන්දුවෙන් තවත් ලකුණක් රැස් කරගත්තාය. අනතුරුව පන්දුවට පහර දුන් ශෂිනි ගිම්හානි ඊළඟ පන්දුව හතරේ සීමාවට ඉහළින් හයේ පහරක් එල්ල කිරීම නිසා ශ්‍රී ලංකාවට පන්දු 3 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය හිමිවිය.

ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න ලකුණු 27ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. අවසන් මොහොතේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රශ්මිකා සෙව්වන්දි පන්දු 16කින් ලකුණු 26ක් රැස් කළාය. ඇයගේ ඉනිමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. පියුමි වත්සලා නොදැවී ලකුණු 21ක් ලබා දෙමින් ජයග්‍රහණය තහවුරු කිරීමට දායක වූවාය.

නවසීලන්ත පන්දු යවන්නියන් අතර හැනා රෝ සහ කේලී නයිට් කඩුලු 2 බැගින් දවා ගත්හ.

දෙපිළ අතර දෙවැනි විස්සයි-20 තරගය මැයි මස 23 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

නවසීලන්ත කාන්තා ‘ඒ’ පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 6 ක් දැවී ලකුණු  129 යි – කේට් ගේජිං 35*, සචිනි නිසංසලා 12/2, සත්‍යා සංඳීපනී 12/2, චමුදි ප්‍රබෝධා 28/2)

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල පන්දුවාර 19ත3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 131 යි – විශ්මි ගුණරත්න 27, රශ්මිකා සෙව්වන්දි 26, පියුමි වත්සලා 21*, හැනා රෝ 22/2, කේලී නයිට් 27/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website