අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී විශේෂ දේශනයක් පවත්වයි

“සංවර්ධනය යන්න ප්‍රතිපත්ති සහ ආර්ථික ආකෘති හරහා පමණක් තේරුම් ගත නොහැක. එය මිනිසුන්ගේ එදිනෙදා ජීවන යථාර්ථයන් මත පදනම් විය යුතු අතර, ඔවුන්ට වගකීමට බැඳී සිටිය යුතුය.” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී “The Politics of Development Sri Lanka and Beyond” (සංවර්ධනයේ දේශපාලනය ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට) 2026 OSGA වාර්ෂික දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

එහිදී ​ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ (OSGA) මෙන්ම සමස්ත  විශ්වවිද්‍යාල සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන් අමතමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය සහ දේශපාලනය අතර පවතින අන්තර් සබඳතාවන් පිළිබඳවත් කාන්තා දේශපාලන නියෝජනය, සත්කාරක ආර්ථිකය (care economy), සමාජ සාධාරණත්වය සහ පොදු මහජන ව්‍යාපාරයන් දිගුකාලීන ආයතනික ප්‍රතිසංස්කරණ බවට පරිවර්තනය කිරීමේදී මුහුණ දෙන අභියෝග යන කරුණු කෙරෙහි  අග්‍රාමාත්‍යවරිය විශේෂ අවධානයක් යොමු කළාය.

ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය සහ නියෝජනය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය  දීර්ඝ වශයෙන් අදහස් දැක්වූවාය. එහිදී බිම් මට්ටමේ දේශපාලන ව්‍යාපාර සහ නායකත්ව අවකාශයන් සඳහා කාන්තාවන්ගේ දායකත්වය වර්ධනය වෙමින් පවතින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, කාන්තාවන් සඳහා වැඩි දේශපාලන අවස්ථා නිර්මාණය කිරීමට ගන්නා උත්සාහයන් මෙන්ම, සමාජයේ සහ දේශපාලන ව්‍යුහයන් තුළ මුල් බැසගෙන ඇති අභියෝග පරිවර්තනය කිරීමේදී තවමත් පවතින බාධාවන් පිළිබඳවද කරුණු පැහැදිලි කළාය.

සමාජ මානව විද්‍යාඥවරියක, ක්‍රියාකාරිනියක, විද්වතෙකු සහ දේශපාලන නායිකාවක ලෙස තම අත්දැකීම් ඇසුරින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පොදු මහජන ව්‍යාපාර සහ ක්‍රියාකාරීත්වයන් දිගුකාලීන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ආයතනික වෙනස්කම් පරිවර්තනය කිරීමේදී ඇති වන අභියෝග පිළිබඳවත්,  එවැනි අර්ථවත් පරිවර්තනයක් සඳහා ඉවසීම, සාකච්ඡා මාර්ග සහ අඛණ්ඩ මහජන මැදිහත්වීම අවශ්‍ය වන බව ද පැවසුවාය.

දේශනයෙන් අනතුරුව විද්වතුන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වුණු අතර, එහිදී පාලනය, ආයතනික ස්වාධීනත්වය, දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමඟ සමතුලිත කිරීමේ අභියෝග පිළිබඳව සාකච්ඡා කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website