නවසීලන්ත කාන්තා ‘A‘ පිලට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ‘A‘ T20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩිකාවන තිදෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ප්‍රමුදි මෙත්සරා (17), ශෂිනි ගිම්හානි (17) සහ අසේනි තලගුනේ (17) එම ක්‍රීඩිකාවෝ වෙති.

මොවුන් තිදෙනා අතරින් වමත් දග පන්දු යවන්නියක වන ශෂිනි ගිම්හානි ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර විස්සයි-20 තරග 7 කට ක්‍රීඩා කර තිබේ. එහිදී ඇය බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 6 කි.

සත්‍යා සංදීපනීගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් සමන්විතව නම් කරන ලද මෙම විස්සයි-20 කණ්ඩායමට 23 වැනි වියේ පසුවන විට්නි ද අල්විස් සහ 24 වැනි වියේ පසුවන සචිනි නිසංසලා ද ඇතුළත්ව සිටිති. මේ අතරින් සචිනි, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 7 කට සහ විස්සයි-20 තරග 13 කට ක්‍රීඩා කර තිබේ.

කෙසේ වෙත්ත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ රැඳී සිටි ලිහිනි අප්සරා, ලිමන්සා තිලකරත්න, රශ්මි සිල්වා සහ තාරුකා ෂෙහානිව විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවට ඉහත නම් සදහන් ක්‍රීඩිකාවන් පස් දෙනා ඇතුළත්ව සිටිති.

එක්දින සංචිතයට ඇතුළත් වූ මන්නාරම් දිස්ත්‍රික්කය නියෝජනය කරන සතීෂ්කුමාර සජින්තිනිද විස්සයි20 සංචිතයේ සාමාජිකාවක් ලෙස නම් කර තිබේ. උතුරු නැගෙනහිර පළාත සමස්තයක් ලෙස නියෝජනය කරමින් ජාතික මට්ටමේ ක්‍රිකට් සංචිතයකට තේරී පත් වූ පළමු ක්‍රීඩිකාව ලෙසද ඇය ඉතිහාසයට එක්ව සිටී. 21 වැනි වියේ පසුවන ඇය දකුණතින් වේගපන්දු යවන්නියකි.

මෙම විස්සයි-20 තරග මැයි මස 21, 23 සහ 25 යන දිනවලදී රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ විස්සයසි-20 සංචිතය – සත්‍යා සන්දීපනි (නායිකා), සංජනා කවින්දි, විමෝක්ෂා බාලසූරිය, විට්නි ද අල්විස්, විෂ්මි ගුණරත්න, දෙව්මි විහංගා, සුමුදු නිසංසලා, රෂ්මිකා සෙව්වන්දි, පියුමි වත්සලා, ප්‍රමුදි මෙත්සරා, සචිනි නිසංසලා, ෂශිනි ගිම්හානි, අසේනි තලගුනේ, චමුදි ප්‍රබෝධා, රන්දි ප්‍රේමරත්න, සතීස්කුමාර සජින්තිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website