හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (14) සවස ගල් අඟුරු කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාර දුන්නේය. මේ පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු කළ ප්‍රකාශය පහත දැක්වේ.
“ජනාධිපතිතුමා විසින් පසුගිය මාසයේ දී පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපි අද (14) පැමිණියා. ප්‍රධාන වශයෙන් 2025-26 වකවානුවේ සිදු වුණ ගල් අඟුරු ප්‍රසම්පාදනය සහ බාල ගල් අඟුරු නිසා ඇතිවෙලා තිබෙන මූල්‍ය විනාශය සහ බලශක්ති පද්ධතියට සිදුවෙලා තිබෙන විනාශය ගැනත්, ඒ වගේම 2009 සිට සිදුකළ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බැලීමට පත්කරන ලද විවිධ කොමිෂන්, පොලිස් පරීක්ෂණ, අල්ලස් කොමිෂමේ විමර්ශන සහ විගණකාධිපති වාර්තාවල නිගමන සම්බන්ධයෙන් සිදුකරලා තිබෙන ප්‍රගතිය සම්බන්ධව අපි පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා.
ඒ වගේම, විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ වගේ ගල් අඟුරු කොමිෂමක් දාන කොට, පසුගිය මැයි පළමු වැනිදා ජනාධිපතිතුමාගේ පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිතුමා මේ කොමිෂන් සභාව ගැන ප්‍රකාශ කළා. ඔහු කිව්වා, ‘කොමිෂන් සභාවෙන් ඒගොල්ලෝ නිදොස් වෙනවා, අනෙක් අය වැරදිකරුවෝ වෙනවා’ කියලා.
මේ ප්‍රකාශය කොමිෂන් සභා පනතටත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනි ප්‍රකාශයක්. ඒ නිසා කොමිෂන් සභාවේ ස්වාධීනත්වය, කොමිෂන් සභාවට බලපෑමකින් තොරව කටයුතු කිරීමට තිබෙන හැකියාව වගේ කරුණු සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු වෙනවා. ඒ පිළිබඳව අපි දවුරුම් ප්‍රකාශයක් මඟින් කොමිෂන් සභාවේ අවධානය යොමු කළා. මේ කරුණු සම්බන්ධයෙන් වාර්තා කරන මෙන් අපි ඉල්ලා සිටියා”.















