2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් මිලියන 16.6කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) නියෝග කළේ ය.
ඒ අනුව, සැකකාර සමන් ඒකනායක මහතා රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
මෙම නඩුවේ පළමු වන සැකකරු රනිල් වික්‍රමසිංහට ඇප නියම කිරීමේදී ඔහුට විදේශ ගමන් තහනමක් පනවා නොමැති බැවින් ඇප කොන්දේසියක් ලෙස මෙම සැකකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට කටයුතු නොකරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.
මෙම නඩුකරය යළි අප්‍රේල් මස 29 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද නියම කළේ ය.
එමෙන් ම විත්තිකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ නම් ඊළඟ දිනට පෙර එම කටයුත්ත සිදු කිරීම වඩා සුදුසු බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.












