නව සන්දර්භය තුළ පළාත් පාලන ආයතන සහ මහජන අභිලාෂය: පළාත් පාලන නියෝජිතයින් කියන්නේ කුමක් ද ?

සාධාරණ සමාජයක් සහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව සංවාද මාලාවේ 259 වැනි කතිකාව පසුගිය ඉරිදා (25) ‘නව සන්දර්භය තුළ පළාත් පාලන ආයතන සහ මහජන අභිලාෂය යන තේමාව යටතේ පවත්වන ලදි. මෙවර කතාකාවේ සම්පත්දායකයින් ලෙස පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති, එස්.එම්.එම්. මුෂාරෆ්, මාතර හිටපු නගරාධිපති උපුල් නිශාන්ත සහ කටාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලසන්ත දීපාල් යන මහත්වරුන් සහභාගී වූ අතර ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් කතිකාව මෙහෙයවනු ලැබුවාය. මෙම ලිපිය මෙම කතිකාව ඇසුරින් සම්පාදනය කර ඇත.

2025 වර්ෂයේ මැයි මස 06 දින පැවැති පළාත් පාලන මැතිවරණය ලංකාවේ සුවිශේෂී පළාත් පාලන මැතිවරණයකි. මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි. කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැත්විණි.

වසර කිහිපයක් පුරා කොමසාරිස්වරුන්ගේ පාලනය යටතේ පැවැති පළාත් පාලන ආයතන යළි මහජන නියෝජිතයින්ගේ පාලනය යටතට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. නමුත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම, ඊට පසුව පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම, විශේෂයෙන් ජාතික ජන බලවේගයට බලය හිමි පළාත් පාලන ආයතනවල අයවැය පරාජයට පත්වීම, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ගැටුම් ඇති වීම වැනි හේතු කිහිපයක් මත හැරෙන්නට ජනතාව පළාත් පාලනය ගැන වැඩි තැකීමක් කරන හෝ අවධානයක් යොමු කරන බවක් දැක ගැනීමට නැත. මෙය කනගාටුවට කරුණකි, පළාත් පාලන ආයතනවලින් අපේක්ෂිත පරමාර්ථ ඉටුකර ගැනීමට බාධාවකි.

  • ප්‍රජා ශක්ති – වෙනස කුමක් ද ?

මේ අතර මධ්‍යම ආණ්ඩුව ද පළාත් පාලනය වෙත යම් යම් මැදිහත් වීම් කරමින් සිටී. ඒ අතර ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් පිහිටුවන ලද ‘ප්‍රජා ශක්ති’ සභාව වෙත විශේෂ අවධානය යොමු කළ යුතුය. මෙවැනි ග්‍රාමීය සංවර්ධන ආකෘති (ග්‍රාමෝදය මණ්ඩල, ගැමි දිරිය, ගම නැගුම, ග්‍රාම ශක්ති වැනි) මීට පෙර පැවැති ආණ්ඩු යටතේ බහුලව ක්‍රියාත්මක වුව ද වත්මන් රජය ද ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ප්‍රජා ශක්ති වැඩසටහන වෙත වැඩි අවධානයක් යොමු කර තිබේ.

“නමුත් ප්‍රජා ශක්ති වැඩසටහනේ අපි විශේෂත්වයක් දකිනවා. ප්‍රජා ශක්ති සභා වලට පත්වෙන සභාපතිවරයා ලෙස පත් කරන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා යි. මේක ඍජුවම දේශපාලන තනතුරක්, බලයේ සිටි ආණ්ඩුව තමයි සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා පත්කරන්නේ. ඒ අනුව ප්‍රජා ශක්ති කමිටුවල සභාපති කියන්නේ ඍජුව ම දේශපාලන පත්වීමක්. මේක තමයි මීට පෙර ආණ්ඩු ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් සහ ප්‍රජා ශක්ති වැඩසටහන අතර වෙනස” කතිකාවට පදනම සපයමින් ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නා ය.

  • චක්‍ර ලේඛන

ප්‍රජා ශක්ති වැඩසටහන සම්බන්ධයෙන් පළමු චක්‍රලේඛනය 2025 අගෝස්තු මස 02 වැනිදා චක්‍ර ලේඛනයක් නිකුත් වන්නේය. ඒ අතර 2025 සැප්තැම්බර් 10 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ‘ප්‍රජා සංවර්ධන සභා – නෛතික පදනම, සංයුතිය, සංස්ථාපනය සහ කාර්භාරය’ මැයෙන් චක්‍රලේඛනයක් නිකුත් කළේය. 2025.08.25 වැනි දින පැවැති ප්‍රජා ශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ දී ගනු ලැබූ තීරණ අනුව එම කමිටුවේ නියෝගය පරිදි මෙම මාර්ගෝපදේශ  නිකුත් කරනු ලබන බව එහි සඳහන් විය.

“2025 අගෝස්තු 02 වැනි දා නිකුත් කළ චක්‍රලේඛනය ඉතාම හොඳ චක්‍රලේඛනයක්. ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයෙන් තමයි මේක නිකුත් කරලා තිබුණේ. එක වෙනසක් වගේම, හරි වැදගත් චක්‍රලේඛනයක්. මේ චක්‍රලේඛනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු කොහොමද ප්‍රජා ශක්ති සභා සමඟ සම්බන්ධ වෙන්නේ කියලා හොඳට පැහැදිලි කරලා තිබුණා. මෙහි මම දැක්ක හොඳ දෙයක් තමයි ප්‍රජා ශක්ති සභාවල සම සභාපතිවරු හැටියට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා සහ පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ නියෝජිතයෙක් පත් කරලා තිබෙනවා. මේ අනුව ප්‍රජා ශක්ති සභාවල සභාපතිවරයා ලෙස පත්වන්නේ කවුද ? කියන එක නිශ්චිතව දක්වලා තිබෙනවා. මෙය හොඳ පියවරක්. මං හිතන ආකාරයට ආණ්ඩුව ප්‍රජා ශක්ති සභා හදන්න පදනම දමමින් සිටිනවා” ආචාර්ය සුජාතා ප්‍රජා ශක්ති කමිටුවල සාධනීය ලක්ෂණ කිහිපයක් පැහැදිලි කළාය.

  • ගැටලු සහ අභියෝග

දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සහ අලුත් හඳුන්වා දුන් ප්‍රජා ශක්ති සභා හමුවේ පළාත් පාලන ආයතනවලට අත්වන ඉරණම කුමක්දැයි මෙහි දී ආචාර්ය සුජාතා විමසා සිටියාය.

“මධ්‍යම ආණ්ඩුවේ සිට පහළට, දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු සහ ප්‍රජා ශක්ති සභා කියලා පත්කරන කොට අපි මෙච්චර වියදමක් දරලා පත්කර ගත්ත පළාත් පාලන ආයතනවල තත්ත්වය කුමක්ද ? කියලා අපට ප්‍රශ්නයක් ඇති වෙනවා. තවත් ප්‍රශ්නයක් තමයි, මේවා ජාතික ජන බලවේගයේ කමිටු තිබෙනවා, ඒවා ‘කොට්ඨාශ කමිටු’ කියලා නම් කරලා තියෙනවා. ප්‍රාදේශීය පාලනය ගැන හදාරන අය කොට්ඨාශ කමිටු කියලා අදහස් කරන්නේ යම්කිසි නිල බලයකින්, නීතිරීති අනුව පත් වෙන, කොට්ඨාශයක නියෝජනය සහිත කමිටුවක්. නමුත් අද කොට්ඨාශ කමිටු කියලා නම් කරන්නේ ජාතික ජන බලවේගයේ දේශපාලන කමිටු. පළාත් පාලන මට්ටමින් ප්‍රජා ශක්ති කියලා හදන සභාවල ඉන්න සභාපති දේශපාලන පත්වීමක්, ඒ වගේම නිල බලයෙන් අදාළ කොට්ඨාශවල සේවය කරන රාජ්‍ය නිලධාරීන් ඉන්නවා.  ඊට අමතරව උපරිම සාමාජිකයින් 25 දෙනෙක් ඉන්න පුළුවන් කියලා කියනවා. මේ 25 දෙනා පත්වෙන්නේ කොහොමද ? කියලා පැහැදිලි කිරීමක් නැහැ” ප්‍රජා ශක්ති සභා හරහා පළාත් පාලන ආයතන මුහුණ දෙන නව අභියෝග පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා පෙන්වා දුන්නාය.

මෙහිදී ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ පළාත් පාලන ආයතන විසින් ද විවිධාකාරයේ කමිටු පත්කරන බවයි.

“පළාත් පාලන පනතේම තියෙනවා පළාත් පාලන ආයතනවලට ප්‍රජා මණ්ඩල පත්කළ හැකියි කියලා. ඒකට අදාළ බලතල පළාත් පාලන ආයතනවලට තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමින් විවිධාකාර සමිති – සමාගම් තිබෙනවා. ඒ අනුව ප්‍රජා ශක්ති සභා සමඟ මේ විවිධාකාර සමිති – සමාගම් අන්තර් සම්බන්ධතා පවත්වන්නේ කෙසේ ද ? යන්න පැහැදිලි කරගත යුතුයි. එසේම පළාත් පාලන ආයතනවලින් අපට ලැබෙන තොරතුරු අනුව, පළාත් පාලන ආයතනවල අයවැයට මේ හරහා (ප්‍රජා ශක්ති) විශාල බලපෑමක් වන බවයි. විශේෂයෙන් මාළිමාවට බලය හිමි නැති පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කර ගැනීම ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා. මේ වගේම මෙවැනි දේශපාලන කුලල්කා ගැනීම් සිදුfjද්දී තවත් ගැටලු නිර්මාණය වෙනවා. ඒ වගේම ආණ්ඩුවට වෙනම දේශපාලන බලවේග බිහි කිරීමේ වුවමනාවක් ද තිබෙනවා. එ් වගේම මධ්‍ය ආණ්ඩුවෙන් ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති සභා වැනි තවත් ආයතන හදන්න ආණ්ඩුවට දේශපාලන වුවමනාවක් තිබෙනවා. මේ පසුබිම තුළ ‘ජනතාවට අවශ්‍ය සේවය පළාත් පාලන ආයතනවලින් ලැබේවි ද?’ කියලා ලොකු ප්‍රශ්නයක් අපට තිබෙනවා” ප්‍රජා ශක්ති සභාවල ආගමනය හමුවේ පළාත් පාලන ආයතන මුහුණ දිමට නියමිත අභියෝග සහ අසීරුතා ගැන පැහැදිලි කරමින් ආචාර්ය සුජාතා ගමගේ  සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ පළාත් පාලන අයතනවලට දීර්ඝ ඉතිහාසයක් තිබෙන අතර වත්මන් පළාත් පාලන ආයතන ක්‍රමය ස්ථාපිත කර ද දශක හතරකට ආසන්න කාලයක් ගත වී තිබේ. නමුත් මෙම ගෙවි ගිය කාලය තුළ පළාත් පාලන ආයතන ප්‍රගමනය කරා ගමන් කරනවා වෙනුවට යළි අපගමනයකට, පසුපසට යාමකට ලක්ව තිබෙන බවට යමෙකුට චෝදනා කළ හැකිය.

මෙහිදී වත්මන් පළාත් පාලන ආයතන ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමේදී, එනම් පසුගිය 2025 වසරේ මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පිහිටුවන ලද පළාත් පාලන ආයතන නව සන්දර්භය තුළ කටයුතු කරන ආකාරය විමසුමකට ලක්වීම වැදගත්ය. මෙහිදී මධ්‍ය රජයේ නායකයින්ගේ දැක්ම, ආකල්ප සහ ක්‍රියාකාරීත්වය ද පළාත් පාලන ආයතන ක්‍රියාකාරීත්වය කෙරෙහි තීරණාත්මක ආකාරයෙන් බලපාන හෙයින් ඒ ගැන අමතක කර නව සන්දර්භය තුළ පළාත් පාලන ආයතන සහ මහජන අභිලාෂය ගැන සාකච්ඡා කිරීම දුෂ්කරය.

  • ප්‍රශ්න ගණනාවක්

“ අලුත් සන්දර්භය තුළ මට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. මට සැක හිතෙනවා පසුගිය කාලයේ පළාත් පාලනයට තිබුණු යම් යම් සීමිත ඉඩකඩ පවා පසුගිය කෙටි කාලය තුළ ක්‍රමයෙන් හැකිලීමකට ලක් වුණා. එය තව දුරටත් හැකිලෙමින් තිබෙනවාද ? යන ප්‍රශ්නය මේ වන විට මා තුළ තිබෙනවා. ඒකට හේතුව තමයි පළාත් පාලන පනත සම්පාදනය කළේම ‘මැතිවරණයෙන් පසු පළාත් පාලනය පක්ෂ දේශපාලනයෙන් තොර විය යුතුයි, ඉවත් විය යුතුයි’ කියන පදනම මතයි. එහි අර්ථය වුණේ ‘පළාත් පාලන මැතිවරණයෙන් පසු නො බෙදී කටයුතු කළ යුතුයි’ කියන අදහසයි. ඒ නිසා තමයි පනත අනුව පළාත් පාලන ආයතනවල නිල වශයෙන් විපක්ෂ නායකයෙක් නැත්තේ. නමුත් මේ වන විට පළාත් පාලන ආයතනවල විපක්ෂ නායක කියලා තනතුරක් තිබෙනවා. මගේ අත්දැකීම අනුව ‘පක්ෂ දේශපාලනයෙන් තොර පළාත් පාලනයක්’ අපට දැක ගන්න ලැබෙන්නේ නැහැ” මාතර නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා කතිකාවට ප්‍රවේශයක් ගනිමින් නව සංදර්භය තුළ පළාත් පාලන ආයතන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් උද්ගතව පවත්නා ගැටලුව පැහැදිලි කළේය.

මෙහිදී උපුල් නිශාන්ත යළි පෙන්වා දුන්නේ ‘පළාත් පාලනය පක්ෂ දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක විය යුතුය’ යන සංකල්පීය අරමුණ මේ වන විට හැකිතාක් දුරස් වෙමින් පවතින බවයි.

මීට පෙර ක්‍රියාත්මක වූ පළාත් පාලන ආයතනවල යම් මන්ත්‍රීවරයෙක් අයවැය ඡන්ද විමසීමේ දී පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ගැටලුකාරී හෝ අර්බුදකාරී දෙයක් නොවූ බව පෙන්වා දුන් උපුල් නිශාන්ත එය මාධ්‍යවලට ප්‍රවෘත්තියක් නොවූ බව ද කීවේය.

“නමුත් පසුගිය කාලයේ පළාත් පාලන ආයතන අසීමිත ලෙස දේශපාලනයට ගොදුරු කිරීමත් සමඟ අයවැය ඡන්ද විමසීමක දී තමන්ට ස්වාධීන තීරණයක් ගන්න බැහැ. ඒ කියන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නම් අයවැයට පක්ෂව හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නම් අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න බැහැ. මේ හානිකර තත්ත්වයට ඍජුව වත්මන් ආණ්ඩුව වගකිව යුතුයි. ඔවුන් විසින් අවස්ථාවාදීව නිර්මාණය කළ තත්ත්වයක් අද ඔවුන්ටම බූමරංගයක් බවට පත්ව තිබෙනවා. මේක කොච්චර හානිකර ප්‍රවණතාවක් වෙලා තිබෙනවා ද කියා කිව්වොත් යම්කිසි විපක්ෂ මන්ත්‍රීවරයෙක් අයවැයට පක්ෂව ඡන්දය දුන්නොත් ඒක ජනමාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ ? යහපත් අරමුණින් ඡන්දය දුන්නත් සමාජ මාධ්‍ය කියන්නේ ‘අන්න සල්ලිවලට ඡන්දය දුන්නා’ කියලා. මේ පසුබිම තුළ අද අයවැයට පක්ෂව ඡන්දය දීමට සිදුවෙන්නේ අයවැය දෙස බලලා නෙවෙයි ‘සමාජ අපවාදයෙන් ගැළවෙන්නේ කොහොමද ?’ කියලා කල්පනා කරලයි. මේක කිසිසේත් හොඳ දෙයක් නෙමෙයි” උපුල් නිශාන්ත කීවේය.

  • අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය විම

මෙම තත්ත්වය ‘අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වීමක්’ ලෙස නම් කළ උපුල් නිශාන්ත මේ හරහා ග්‍රාමිය ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඇති අවස්ථා සීමිත වන බව ද පෙන්වා දුන්නේ.

ප්‍රජා ශක්ති සභා හරහා ගමට වගකියන, ගමේ මහජන නියෝජිතයා සම්පූර්ණයෙන්ම ඈත් කර ඇති බව බව උපුල් නිශාන්ත මෙහිදී සඳහන් කළේය.

“ඔහුගේ වටිනාකමත් මේ හරහා සම්පූර්ණයෙන්ම අවලංගු කරලා’ ඔහු යළිත් පෙන්වා දුන්නේය.

මෙහිදී උපුල් පෙන්වා දුන්නේ ව්‍යාවස්ථාපිත ආයතනයක්, පනතකින් පිහිට වන ලද ආයතනයක් චක්‍රලේඛනයක් මගින් පත් කරන කමිටුවකට යටපත් කර දමන ලද බවයි.

“මෙහි හංඟන්න කිසියම දෙයක් නැහැ, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු කියන්නේ බලයේ ඉන්න ඕනෑම ආණ්ඩුවක් විසින් මෙහෙය වන දෙයක්. මේකට පත්කරලා ඉන්න රාජ්‍ය නිලධාරීන් ස්වාධීනව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක ඔවුන්ට අගුණයි. එතැන ඡන්ද විමසීම් නැහැ. සභාපතිවරයා කියන දේ තමයි තීන්දුව. ඒ නිසා මම යළි අවධාරණය කරනවා මේ අසීමිත දේශපාලනීකරණය හොඳ දෙයක් නෙවෙයි” උපුල් නිශාන්ත කීවේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ නගර නිර්මාණය, සැලසුම්කරණය ආදි සියල්ල ඉදිරියේ දී පළාත් පාලන ආයතනයෙන් බැහැරව සිදුවීමට නියමිතව ඇති බවයි.

  • තවත් අභියෝගයක්

පළාත් පාලන ආයතනවලට වියදම ඇස්තමේන්තු කර ආදායම පෙන්විමට බලයක් නැති බවත් ලැබෙන ආදායම අනුව වියදම් සකස් කළ යුතුව ඇති බවත් උපුල් නිශාන්ත මෙහි දී සිහිපත් කළේය.

“එක සත පනහක් හරි ඉතුරු වෙන්න තමයි අයවැය හදන්න වෙන්නේ. නමුත් වත්මන් පළාත් පාලන ආයතනවල අයවැය ලේඛන සකස් කරලා තියෙන්නේ වාර්ෂික ආදායමට වඩා අති විශාල වියදම් ඇස්තමේන්තුවක් සහිතවයි. මේ අනුව පේන්නේ කුමක් ද?, පළාත් පාලනයේ අරමුණු සම්පුර්ණයෙන්ම ඉවතට ගිහිල්ලා කියන එක තමයි මේ පේන්නේ.” වත්මන් දේශපාලන සන්දර්භය තුළ පළාත් පාලන ආයතන මුහුණ දෙන තවත් ගැටලුවක් නිශාන්ත විසින් හෙළි කළේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති එකඟතාව අනුව පළාත් පාලන ආයතන වාර්ෂිකව 20% බැගින් මධ්‍ය රජයේ ප්‍රතිපාදන මගින් ලබා දෙන වැටුප් අඩු කිරීමේ සැලසුමක නිතරතව සිටින බවයි.

“නමුත් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කිසිම සූදානමක් නැහැ, පළාත් පාලන ආයතනවලටත් නැහැ” උපුල් නිශාන්ත චෝදනා කළේය.

ජාතික ජන බලවේගය විපක්ෂයේ දේශපාලනය කරන සමයේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම, ජනමතයට ගරු කිරීම, මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට අවස්ථාව ලබා නොදීම ආදි බොහෝ ධනාත්මක කරුණු වෙනුවෙන් පෙනී සිටියේය. නමුත් ඔවුන් ආණ්ඩු බලය ලැබුණු පසු ක්‍රියාත්මක වන්නේ විපක්ෂයේ සිටි සමයේ දැරූ දේශපාලන අදහස්වලට හාත්පසින්ම වෙනස්වය. මේ වෙනස පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ගන්නා ලද උත්සාහයේ දී වඩාත් ප්‍රකට වුණේය.

  • පරස්පරතා සහ ගැටලු

“මේ තත්ත්වය කොළම මහ නගර සභාවේ 2026 අයවැය ලේඛනය සම්මත කර ගැනීමේ හොඳින් පැහැදිලි වුණා. අපේ පක්ෂයේ මන්ත්‍රීවරියකුත් පක්ෂ ස්ථාවරයට පිටින් ගිහින් අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. ඇයට විවිධ වරප්‍රසාද දෙන බව කියනවා. නමුත් දැන් අපට තිබෙන ප්‍රශ්නය තමයි ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටිය දී කළ දේවල් ද හරි, අද ආණ්ඩු බලය තිබෙන විට කරන දේවල් ද හරි ? කියලා” කතිකාව සංවාදයට එක් වෙමින් මුෂාරෆ් මහතා පැවසුවේය. ඔහු මෙහිදී යළි යළි අවධාරණය කළේ වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී දැරූ ස්ථාවරයන්ට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාකාරීත්වයක් මේ වන විට පෙන්නුම් කරන බවයි.

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වා දී තිබෙන ප්‍රජා ශක්ති සභා වැනි වැඩසටහන් ඉන්දියාවේ ද ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉන්දියාව ද බිම් මට්ටමේ ක්‍රියාත්මක වන ආයතනවලට බලතල ලබා දී තිබෙන ආකාරය පැහැදිලි කළේය.

“පළාත් පාලන ආයතන වැනි බිම් මට්ටමේ ආයතනවලට බලතල ලබා දීමට අපි පක්ෂයි. ඒ නිසාම ප්‍රජා ශක්ති සභා පිහිටුවීම ගැන අපි සතුටු වෙනවා. නමුත් ඉතාම පැහැදිලිව මේ ආයතන ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ දී අපේක්ෂිත අරමුණුවලින් බැහැර ක්‍රියාත්මක වීමේ පැහැදිලි අවදානමක් තිබෙනවා. ඒකට හේතුව තමයි වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරයේ පැහැදිලි පරස්පරතා තිබීම. ඔවුන් විපක්ෂයේ සිටිය දී කතා කළ දේවල්වලට වඩා සම්පූර්ණයෙන් වෙනස් වැඩපිළිවෙළක්, ස්ථාවරයක් තමයි දැන් ක්‍රියාත්මක කරන්නේ. අපේ පළාත්වල ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම කරන්නේ ආණ්ඩු පක්ෂයේ හිතවතුන්, ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඔවුන් පසුගිය ආණ්ඩුවලට එල්ල කළ සියලුම චෝදනා අද ඔවුන්ටත් එල්ල කරන්න පුළුවන්. ජනතාව මේ වෙනස වටහා ගෙන තිබෙනවා. දූෂිත බවට, අල්ලස් ගන්නා බවට මාළිමාව පසුගිය ආණ්ඩුවලට චෝදනා කළත් අද ඔවුනුත් ඒ පාරේ ගමන් කරමින් සිටිනවා. ඒ අනුව වෙනසක් සිදුවෙලා නැති බව ජනතාව කියනවා” මුෂාරෆ් මහතා වත්මන් තත්ත්වය තුළ පළාත් පාලන ආයතන මුහුණ දෙන අභියෝග වල සංකීර්ණභාවය පැහැදිලි කරමින් පෙන්වා දුන්නේය..

  • ප්‍රජා ශක්ති කොයිබට ද ?

සංකල්පීය වශයෙන් ප්‍රජා ශක්ති වැඩසටහන අගය කළ යුතු සංකල්පයක් බව පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතනවල මාළිමාවට බහුතර බලයක් නොමැති බව පෙන්වා දුන් ඔහු ජනතාව අතර ද ජාතික ජන බලවේගයට ශක්තිමත් පදනමක් නොමැති බව කීවේය.

“මහ මැතිවරණයේ දී  නැගෙනහිර පළාතේ ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නත් පළාත් පාලන මැතිවරණයේ දි ඔවුන් ආපසු හැරුණා. ආණ්ඩුවට නැගෙනහිර පළාත් පාලන ආයතනවල බහුතර බලය දිනා ගන්න ලැබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තමන්ට කැමැති නැති, ඡන්ද පදනමක් නැති මධ්‍යම පංතිය, වෘත්තිකයින් දිනා ගන්න ජාතික ජන බලවේගය නිර්මාණය කළා වගේම දැන් තෙවැනි පියවර ලෙස ප්‍රජා ශක්ති බිහි කරලා තියෙනවා. එහි අරමුණ වෙන්නේ ඔවුන්ට ඡන්ද පදනමක් නැති ග්‍රාමිය සමාජයේ වෙනත් ස්ථරයකට ආමන්ත්‍රණය කිරීමයි. මේ හරහා ඍජුව දේශපාලන අරමුණක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රජා ශක්ති හරහා අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි අදාළ කොට්ඨාශවල සැබෑ ගැටලු ගැන නිසි අවබෝධයකින් තොර පුද්ගලයින් පත් කිරීම. මේක කිසිසේත් යහපත් තත්ත්වයක් කියලා කියන්න බැහැ” පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපති, නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ් මහතා සඳහන් කළේය.

ප්‍රජා ශක්ති වැඩසටහනට පෙර මෙරට තුළ ග්‍රාමිය සංවර්ධනය සහ දරිද්‍රතාව පිටුදැකීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වී තිබේ. ආසන්න යුගයේ උදාහරණ ගන්නේ නම් ජනසවිය, සමෘද්ධි ව්‍යාපාරය, දිනැගුම සහ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වූ අතර ගැමි දිරිය නමින් ද වැඩසටහන් ක්‍රියාත්මක වි තිබේ. මේ වැඩසටහන් දිගුවේ වත්මන් ප්‍රකාශනය වන්නේ වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහනය.

ආණ්ඩුවේ ඍජු අධීක්ෂණයට සහ මෙහෙයවීමට යටත් වන මෙම වැඩසටහන්වලට අමතරව ග්‍රාමීය සංවර්ධනය අරමුණු කරගත් තවත් විවිධ සංවිධාන, කමිටු සහ ආයතන ගණනාවක් ක්‍රියාත්මක වන අතර මේ සියලු වැඩසටහන් වල කේන්ද්‍රීය අරමුණ බවට පත්ව තිබුණේ ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිම ඇතුළු ග්‍රාමීය සංවර්ධනනයි.

“ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ග්‍රාමීය ප්‍රජාව සහ පළාත් පාලන ආයතන ඵලදායි ලෙස සම්බන්ධීකරණය කිරීම සෑම රජයකම අරමුණ වුණා. ඒ හරහා තමන්ගේ දේශපාලන පක්ෂයේ ග්‍රාමීය ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම, තමන්ගේ දේශපාලන පක්ෂයේ බිම් මට්ටමේ නියෝජිතයින්ගේ ඡන්ද පදනම ශක්තිමත් කිරීම අරමුණු වුණත් ඒවා බොහෝ විට ඉටු වුණේ නැහැ. ඒ ආණ්ඩු සදාකාලිකව බලයේ හිටියෙත් නැහැ. වත්මන් ආණ්ඩුවත් මේ උපාය මාර්ගයම අනුගමනය කිරීමට යනවා නම් පළාත් පාලන ආයතන එයට ශක්තියක් වෙන්නේ නැහැ” කටාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලසන්ත දීපාල් මහතා කතිකාවට සිය ප්‍රවේශය ගනිමින් පෙන්වා දුන්නේය.

  • පරණ වැඩපිළිවෙළක යටි අරමුණ

මීට කලකට පෙර ‘ඡන්ද විමසීම් පනත’ යනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උත්සාහා කළත් එය අතරමග නතර කිරීමට සිදු වූ බව පෙන්වා දුන් ලසන්ත දීපාල් මහතා එය අසාර්ථක වූ හේතු ද දීර්ඝව පැහැදිලි කළේය.

“මේ වැඩපිළිවෙළේ සැලසුම අනුව යම් කොට්ඨාශයකට පත්වෙන මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක් පත් කරනවා. එම කමිටුවට සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරීන් ඇතුළු අදාළ කොට්ඨාශයට පත්කර සිටින රාජ්‍ය නිලධාරීන් පස් දෙනා ද ඇතුළත් වෙනවා. නමුත් මේ කමිටුවේ සභාපතිවරයා වන්නේ කොට්ඨාශයේ මන්ත්‍රීවරයා. නමුත් මේ පනතට මේ කාරණා ඇතුළත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස පත් වන කොට්ඨාශයේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබිම. ඔහුගේ අධ්‍යාපන මට්ටම, වෘත්තිය පසුබිම හෝ රුචි ආරුචිකම් එක්ක රාජ්‍ය නිලධාරීන් පාලනය කිරීම සම්බන්ධ ගැටලු උද්ගත වුණා. ඒ නිසා අවසානයේ මේ සැලසුම නතර වුණා. වත්මන් ආණ්ඩුව ප්‍රජා ශක්ති කියලා යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ මීට කලකට පෙර ක්‍රියාත්මක කළ නො හැකි වූ සැලසුම කියලා මට හිතෙනවා” යැයි කී ලසන්ත දීපාල් මහතා රනිල් වික්‍රමසිංහ යුගයේ ක්‍රියාත්මක කරන ලද ග්‍රාමිය කමිටු සහ වත්මන් ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ තුළ බිහිවන කමිටු සැසදීමක් ද කළේය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ ප්‍රජා ශක්ති කමිටු පැහැදිලිවම ජාතික ජන බලවේගයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන පක්ෂ නියෝජිතයින්ගේ සහ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පාලනයට යටත් වන බවයි.

“ශ්‍රී ලංකාව ගොඩනගන වැඩපිළිවෙළ මේ ආණ්ඩුව තුළින් ප්‍රකාශයට පත්වෙන්නේ නැහැ. මේක කනගාටුවට කරුණක්” දීපාල් මහතා සඳහන් කළේය.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website