තුන්කොන් තරගාවලිය සඳහා වියස්කාන්ත්ව කැඳවයි

පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ව කැඳවීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කටාර් දේශයේ  පවත්වනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින වියස්කාන්ත්, කටාර් රාජ්‍යෙය් සිට පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.

එක්දින තරගාවලිය අතරතුරදී පා දඟ පන්දු යවන වනිදු හසරංග කලවයේ මාංශ පේෂී ඇදී යෑමේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහු තවමත් පූර්ණ සුවය ලබා නොමැති. එබැවින් ඔහුට ආදේශකයක් ලෙසින් වියස්කාන්ත්ව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ.

නැගීඑන තරු අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගිවූ ඇෆ්ගනිස්තානයට සහ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැති තරග වලදී වියස්කාන්ත් පිළිවෙලින් ලකුණු 28 කට කඩුලු 3 ක් සහ ලකුණු 11 කට කඩුලු 2 ක් වශයෙන් සමස්ථ තරගාවලියේ කඩුලු 5 ක් දවා තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් තිදෙනා අතර රැඳී සිටියි.

වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සමග එකතු වන්නේ මූලික සංචිතයට නම් කරන ලද අනෙක් පා දඟ පන්දු යවන්නා වන දුෂාන් හේමන්ත ද සිටියදී වීම විශේෂත්වයක් වේ. තවමත් 23 හැවිරිදි වියේ පසුවන වියස්කාන්ත් යාපනය මැදි විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ෂ්ඨ වී සිටියි. පළමු පෙළ විස්සයි-20 තරග 59 කට ක්‍රීඩා කර ඇති දකුණත් පා දඟ පන්දු යවන්නා එහිදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 67 ක් වේ. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 20.98 ක් ලෙස සටහන් වන වියස්ගේගේ දේශීය තරග පිටියේ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගැනීම සනිටුහන් වේ.

වියස්කාන්ත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර තිබේ. 2023 වසරේ චීනයේ පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් චීනයට ගිය වියස්කාන්ත් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ජාත්‍යන්තර විස්සයි-20 වරම් හිමි කර ගත්තේය. එම තරගයේදී ඔහු ලකුණු 28 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවේය.

කණ්ඩායමේ නිත්‍ය නායක චරිත් අසලංක සහ අසිත ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් හේතුවෙන් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණෙන නමුත් වනිඳු හසරංග දිගටම සංචිතය සමග රැඳී සිටිනු ඇත. කෙසේ වෙතත් චරිත් සහ අසිත වෙනුවට පවන් රත්නායක සහ විජයකාන්ත් වියස්කාන්ත් කණ්ඩායමට එක් කරනු ලැබීය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – 1. දසුන් ශානක (නායක), 2. පැතුම් නිස්සංක, 3. කමිල් මිශාර, 4. කුසල් මෙන්ඩිස්, 5. කුසල් පෙරේරා, 6. භානුක රාජපක්ෂ, 7. වනිඳු හසරංග, 8. දුෂාන් හේමන්ත, 9. ජනිත් ලියනගේ, 10.කමිදු මෙන්ඩිස්, 11. දුෂ්මන්ත චමීර, 12. පවන් රත්නායක, 13. ඒෂාන් මාලිංග, 14. මහීෂ් තීක්ෂණ, 15. නුවන් තුෂාර, 16. විජයකාන්ත් වියස්කාන්ත්.
Source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website