ජනතාව ආර්ථික වශයෙන් පොහොසත් කිරීම පමණක් නොව ඔවුන්ගේ අධ්යාපනය සහ සෞඛ්යය නගා සිටුවා දියුණු මානව ප්රජාවක් ගොඩනැගීම ප්රජාශක්ති ජාතික ව්යාපාරයේ මූලික අරමුණයි
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ
රටේ ජනතාව ආර්ථික වශයෙන් පොහොසත් කිරීම පමණක් නොව ඔවුන්ගේ අධ්යාපනය සහ සෞඛ්යය නගා සිටුවා දියුණු මානව ප්රජාවක් ගොඩනැගීම ප්රජාශක්ති ජාතික ව්යාපාරයේ මූලික අරමුණ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ ( 13 ) පැවති බස්නාහිර පළාත් ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
මෙම වැඩසටහන සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටුදැකීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම සඳහා රජය ආරම්භ කළ ‘ප්‍රජාශක්ති’ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ අතර ඒ සඳහා කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කවල ප්‍රජා සංවර්ධන නියෝජිතයෝ සහභාගි වූහ.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
ජනතාව පොහොසත් වීම යන්නෙන් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය අදහස් කරන්නේ ආර්ථික වශයෙන් පොහොසත් වීම පමණක් නොවෙයි. අපේ වැඩි අවධානය යොමු වන්නේ, අපේ ප්‍රධාන අරමුණ වන්නේ බහුමාන දරිද්‍රතාව පිටුදැකීමයි.
බහුමාන දරිද්‍රතාව යන්නෙන් අදහස් කරන්නේ ජීවන තත්ත්වය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ප්‍රධාන මූලධර්ම තුන එකතු කර සකස් කරන ලද නිර්ණායකයක්. ඒ නිසා දිළිදුකම තුරන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ ආර්ථික වශයෙන් පොහොසත් කිරීම පමණක් නොවෙයි. සමාජයීය වශයෙන් ද පොහොසත් වීමයි. අපේ රට ආර්ථික වශයෙන් ඔසවා තබනවා වගේම සමාජයීය වශයෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හා අධ්‍යාපනය නගා සිටුවීමක් කළ යුතුයි. අපේ රටේ මානව සම්පත දියුණු කිරීමකින් තොරව රට ඉස්සරහට ගෙනියන්න බැහැ. ඒ සඳහා අධ්‍යාපනය ඉතා වැදගත්. ඒ වගේම රටක සංවර්ධනය සඳහා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකළ යුතුයි. ඒ නිසා බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම ප්‍රජා ශක්ති ජාතික ව්යාපාරයේ මූලික අරමුණයි”.
මෙහිදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය වන තාක්ෂණික කරුණු පිළිබඳව ඒ් මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.
ප්‍රජා සංවර්ධන සභාව විසින් කටයුතු සිදු කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් සහ සමස්ථ ප්‍රජාවගේම යෝජනා හා අදහස් නියෝජනය වන පරිදි ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ අවශ්‍යතාව, ව්‍යාපෘති නිවැරදිව හඳුනාගැනීමේ සහ විද්‍යාත්මක පදනමක් සහිතව ව්‍යාපෘති ප්‍රමුඛතාගත කරන ආකාරය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා එහිදී පැහැදිලි කළේය.















