සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටුදැකීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති ‘ප්‍රජාශක්ති’ ජාතික ව්‍යාපාරය මේ වන විට සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර, ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය පිළිබඳව කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්කයන්හි ප්‍රජා සංවර්ධන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (13) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 180 ක් පමණ අයවැය ඇස්තමේන්තු හා අයවැය යෝජනා මගින් ග්‍රාමීය සංවර්ධනයට වෙන් කර ඇති අතර මෙම ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ දී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ථාපිත කර ඇති ප්‍රජා සංවර්ධන සභා සඳහා පැවරී ඇත්තේ සුවිශේෂි කාර්යයභාරයකි.
මෙම අලුතෙන් ස්ථාපිත කර ඇති සෑම ප්‍රජා සංවර්ධන සභාවකම සභාපති ලෙස ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කර ඇති අතර ග්‍රාම නිලධාරී වසම් වෙත අනුයුක්ත කර සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සමාජ සවිබල ගැන්වීමේ නිලධාරීන් ලෙස නැවත අනුයුක්ත කර ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම් ලෙස නිලබලයෙන් රාජකාරි පවරා ඇත.
ප්‍රජා සංවර්ධන සභාව සභපති, ලේකම් සහ නිලබලයෙන් පත් වන සෙසු සාමාජිකයින්ගෙන් සමන්විත ප්‍රජා සංවර්ධන කාරක සභාව, ප්‍රජා නියෝජිත කණ්ඩායම හා උපායමාර්ගික කණ්ඩායම ඇතුළත් සාමාජිකයින් 25 දෙනෙකුගෙන් සමන්විතය.
ඒ අනුව මේවන විට ප්‍රජා සංවර්ධන සභා විසින් 2026 වර්ෂය සඳහා සංවර්ධන යෝජනා හඳුනා ගැනිම, සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කිරීම හා එම සංවර්ධන යෝජනා ඇතුළත් ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය තුළින් මෙරට බහුමාන දරිද්‍රතාවය තුරන් කිරිම සඳහා කටයුතු කළ හැකි ආකාරයත්, මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට හා එහි දිගුකාලීන අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ජාතික නායකත්වය ලබා දීම සඳහා ජනාධිපතිවරයා සෘජුවම මැදිහත් වන ආකාරයත්, ලොව සියලුම රටවල් පාහේ පිළිගෙන ඇති ප්‍රජා සහභාගීත්ව ප්‍රවේශය තුළින් දිළිඳුකම පිටු දැකිම සඳහා ප්‍රජා සංවර්ධන සභා ව්‍යුහය යොදා ගැනීමේ අවශ්‍යතාවය හා හැකියාව පිළිබඳවත් දීර්ඝ ලෙස අදහස් දක්වන ලදී.
දිළිඳුකම පිටු දැකීම කිසිසේත්ම හුදෙකලා සංවර්ධන ව්‍යාපෘති හෝ වැඩසටහන් මගින් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා සාකල්‍ය ප්‍රවේශයක් අනුගමන කළ යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා එම සාකල්‍ය ප්‍රවේශය තුළ සමාජ පරිසරය, අහාර සුරක්ෂිතතාවය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය, නිෂ්පාදන ආර්ථිකය සහ සැපයුම් ජාල කමනාකරනය යන සියලුම අංශ පිළිබඳව ඒකාබද්ධ ප්රවේශයකින් කටයුතු කළ යුතු බවද පෙන්වා දුන්නේය.
කෙසේ වුව ද මෙම වර්ෂය තුළ ග්‍රාමීය සංවර්ධනය සඳහා වෙන් වී ඇති ප්‍රතිපාදන කාර්යක්ෂමව උපයෝජනය කරමින් දිළිඳුකම පිටු දැකීම හා ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රජා සංවර්ධන සභා සභාපති, ලේකම් ඇතුළු ප්‍රජා සංවර්ධන සභාවට පැවරී ඇති අභියෝගය ධනාත්මකව භාරගෙන අදාළ ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලුම නියෝජිතයින් හා නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, රට හමුවේ ඇති මෙම අභියෝග ජය ගැනීම වෙනුවෙන් සියලු දෙනාම සක්‍රීයව දායකත්වය ලබා දෙනු ඇතැයි තමා විස්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය වන තාක්ෂණික කරුණු පිළිබඳව ඒ මහතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
ප්‍රජා සංවර්ධන සභාව විසින් කටයුතු සිදු කිරීමේ දි අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් සහ සමස්ථ ප්‍රජාවගේම යෝජනා හා අදහස් නියෝජනය වන පරිදි ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ අවශ්‍යතාවත්, ව්‍යාපෘති නිවැරදිව හඳුනාගැනීමේ හා විද්‍යාත්මක පදනමක් සහිතව ව්‍යාපෘති ප්‍රමුඛතාගත කරන ආකාරයත් පිළිබඳවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා වැඩසටහන සඳහා පැමිණි සිටි බස්නාහිර පළාතේ ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන් හා ලේකම්වරුන් වැඩිදුරටත් දැන්වත් කරන ලදි.















