ඇල්ල සංචාරක ප්රදේශයට (Pick Me, Uber) පැමිණෙන කුලී රථ රියදුරන් හට එම ප්රදේශයේ කුලිරථ රියදුරන් විසින් තර්ජනය කරන බවට හා පහරදී ඇති බවට ඇල්ල පොලිස් ස්ථානයට පැමිණිලි ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ ඇත. මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් පිටතින් පැමිණි කුලී රථ රියදුරෙකු හට ඇල්ල ප්රදේශයේ කුලී රථ සේවය සිදු නොකරන ලෙසට ප්රකාශ කරනු ලබන වීඩියෝ පටයක්ද සංසරණය වන බවට නිරීක්ෂණය වී ඇත.
මෙම වීඩියෝ පටයට අදාලව පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් 2025.12.19 වන දින ඇල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධව බණ්ඩාරවෙල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමාගේ නියෝග අනුව විමර්ශන සිදු කර මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා වහාම ක්රියාත්මක වන පරිදි බණ්ඩාරවෙල පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කිරීමට ක්රියා කර ඇත.
පසුගිය 21 වන දින ඇල්ල පොලිස් වසමේදී කුලී රථ (Pick Me, Uber) රියදුරෙකුට පහරදීමට තැත්කර ඔහුගේ කාර් රථයට පහරදී අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් හා මෙම සේවය සපයන රියදුරු කාන්තාවක් හට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ පැමිණිලි දෙකක් වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කරන ලදී.
විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත කාර් රථයේ රියදුරුට පහරදීමට තැත් කිරීම හා කාර් රථයට අනර්ථය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකුද අනෙක් කාර් රථයේ රියදුරුව සිටි කාන්තාවට පහරදී මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද ඇල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු 2025.12.22 වන දින බණ්ඩාරවෙල ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදුකරනු ලබයි.












