දෙසැම්බර් 21 වැනිදා සිට ඉන්දියාවේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට, පළපුරුදු ක්‍රීඩිකාවන්ට වඩා නවක සහ තරුණ ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථා ලබාදීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මෙම තේරීම්වලදී කණ්ඩායමේ උප නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම නම් කර ඇති අතර, අවසන් තරගාවලි කිහිපයකදී උප නායිකාව ලෙස කටයුතු කළ කඩුලු රකින්නිය අනුෂ්කා සංජීවනීට මෙවර සංචිතයෙන් ඉවත් කර තිබේ. ඇය වෙනුවට කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නිය ලෙස කෞෂානි නුත්‍යාංගනා නම් කර ඇති අතර, අවශ්‍ය අවස්ථාවලදී හසිනි පෙරේරාටද කඩුලු රැකීමේ හැකියාව පවතිනු ඇත.
මෙයට අමතරව, ඉකුත්දා අවසන් වූ ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ක්‍රීඩිකාවන් පස්දෙනෙකු මෙම සංචාරයෙන් ඉවත් කර, ඒ වෙනුවට නවක සහ තරුණ ක්‍රීඩිකාවන් පස්දෙනෙකු කණ්ඩායමට එක් කර ඇත.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩිකාවන්ගේ සංකලනයක් වන ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය ආරාධිත තරගාවලියක් බැවින්, ශ්‍රී ලංකා දෙවැනි පෙළ නියෝජනය කරන ක්‍රීඩිකාවන්ට වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීම තේරීම් කමිටුවේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබේ.
තවත් මාස 6ක කාලයකින් පැවැත්වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින්, මෙම නවක ක්‍රීඩිකාවන්ට අවස්ථා ලබා දීම හරහා ඒ සඳහා ආයෝජනයක් කිරීමේ හැකියාවද තේරීම් කමිටුව විසින් සලකා බැලීමට නියමිතය.
ශෂිනි ගිම්හානි, නිමේෂා මදුශානි, මල්ෂා ෂෙහානි, රශ්මිකා සෙව්වන්දි සහ කාව්‍යා කාවින්දි මෙම සංචාරය සඳහා කණ්ඩායමට එක් වූ නවක මුහුණු වෙති. මොවුන්ගේ පැමිණීමත් සමඟ දෙව්මි විහංගා, පියුමි වත්සලා, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී සහ අචිනි කුලසූරියට ස්ථාන අහිමිව ඇත.
නවක ක්‍රීඩිකාවන් අතර ශෂිනි ගිම්හානි තවමත් පාසල් වයසේ පසුවන ක්‍රීඩිකාවකි. වමතින් දඟ පන්දු යවන ඇය අවශ්‍ය විටෙක දෙඅතින්ම පන්දු යැවීමටද සමත්ය. වයස අවුරුදු 17ක් වන ශෂිනි මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 5ක් ක්‍රීඩා කර කඩුලු 6ක් දවාගෙන ඇත. තවද අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ උප නායිකාව වන තුන් ඉරියව් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දිද මෙවර සංචිතයට එක් කර තිබේ.
වමත් දඟ පන්දු යවන්නිය නිමේෂා මදුශානි, සුගන්ධිකා කුමාරි වෙනුවට කණ්ඩායමට කැඳවා ඇති අතර, හිටපු ක්‍රීඩිකාවක වන මල්ෂා ෂෙහානිටද දෙව්මි විහංගාගේ ස්ථානය ලබාදීමට තේරීම් කමිටුව විශ්වාසය පළ කර ඇත.
මේ අතර ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩිකාවක වූ උදේශිකා ප්‍රබෝධනීගේ ස්ථානයට වේග පන්දු යවන කාව්‍යා කාවින්දි කැඳවා තිබේ. දකුණතින් මද වේගයෙන් පන්දු යවන කාව්‍යා මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 5ක් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 10ක් ක්‍රීඩා කර ඇත. තවත් වේග පන්දු යවන්නියක වන අචිනි කුලසූරියද මෙවර සංචාරයට විවේක ගන්වා ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
- චමරි අතපත්තු (නායිකා)
- හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා)
- හසිනි පෙරේරා
- විශ්මි ගුණරත්න
- නිලක්ෂි ද සිල්වා
- කවීෂා දිල්හාරි
- ඉමේෂා දුලානි
- මල්ෂා ෂෙහානි
- ඉනෝකා රණවීර
- රශ්මිකා සෙව්වන්දි
- කාව්‍යා කාවින්දි
- මල්කි මදාරා
- සශිනි ගිම්හානි
- කෞෂානි නුත්‍යාංගනා
- නිමේෂා මදුශානි.















