දිට්වා වැනසූ ගොවිබිම් යළි සක්‍රීක කරන්නේ මෙහෙමයි – රජයේ වැඩපිළිවෙළ ගැන සම්පූර්ණ විමසුමක්

දිට්වා සුළි කුණාටුවෙන් වඩාත්ම හානියට පත් ක්ෂේත්‍රයක් ලෙස කෘෂිකර්මාන්තය සැලකිය හැකිය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පසුගිය 09 වැනිදා මාධ්‍ය හමුවේ පැවසුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගොවිබිම් හෙක්ටයාර 131,743ක් විනාශ වී ඇති බවයි. විනාශයට පත් වගා බිම් අතර කුඹුරු හෙක්ටයාර 108,000ක්, බඩ ඉරිඟු හෙක්ටයාර 6,600ක්, උඩරට එළවළු වගාව හෙක්ටයාර 2,613ක්, පහත් බිම් එළවළු වගාව හෙක්ටයාර 3,530ක් සහ අනෙකුත් බෝග වගාබිම් හෙක්ටයාර 11,000ක් ඇති බව ඔහු පැවසුවේය.

මේ අතර සත්ත්ව නිෂ්පාදන සහ  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා පැවසුවේ සුළි කුණාටුවේ  බලපෑමෙන් දිවයින පුරා කිරි ගවයින් 30,000ක් සහ එළුවන් 15,000ක් මිය ගොස් ඇති බවත් කී ඔහු කුකුළු ගොවිපොළ වලට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බව පෙන්වා දුන්නේය.

  • ජනපති දුන් සහන

ආපදා තත්ත්වය හමුවේ පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ආපදාවෙන් බලපෑමට ලක් වූ වී, ධාන්‍ය වර්ග සහ බඩ ඉරිගු ආදිය සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවයි.

“අපේ අපේක්ෂාව වන්නේ මේ කුඹුරු යළි වගා කිරීමයි. ආසන්න වශයෙන් කුඹුරු හෙක්ටයාර 160,000ක් පමණ හානියට පත්ව තිබෙන බව වාර්තා වී තිබෙනවා. සාමාන්‍යයෙන් මීට පෙර මාසයකට වඩා අඩු ගොයමකට හෙක්ටයාරයකට රුපියල් 40,000යි ලබා දුන්නේ. අපී තීරණය කර තිබෙනවා මේ හෙක්ටයාර 160,000ම නැවත වගා කිරීමට. ඒ සදහා අවශ්‍ය බිත්තර වී, පොහොර ආදිය ගොවි ජනතාවට ලබා දෙනවා” ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැවසුවේය.

සුළි කුණාටුවෙන් හානියට පත් එළවළු වගාබිම් හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක දීමනාවක් ලබා දෙන බව කී ජනාධිපතිවරයා ආපදාවට ලක් වූ පශුවෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සෑම සත්ත්ව පාලන ගොවිපොළක්ම නැවත ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදීමට පියවර ගෙන තිබෙන බව ද සඳහන් කළේය.

පසුගිය දිනවල ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ද ආපදා තත්ත්වය හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසඳුම් සෙවීම දැඩි අවධානයට ලක් වුණේය.

  • දිස්ත්‍රික් සංවර්ධන කමිටු

පසුගිය දිනවල ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී ද ආපදා තත්ත්වය හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසඳුම් සෙවීම දැඩි අවධානයට ලක් වුණේය.

දෙසැම්බර් 06 වැනිදා පැවති මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස  නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළ ද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

මාතලේ දිස්ත්‍රික්කයේ විනාශ වී ඇති වාරි පද්ධති සහ ජලාශ කඩිනමින් ප්‍රතිසංස්කරණ කිරීම, ආපදාවට ලක් වූ බෝග වගාවන්  සහ සත්ත්ව ගොවිපොළ යළි ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළේය.

දෙසැම්බර් මස 07 වැනිදා පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කෘෂිකර්මාන්තය ම තේමා කොට ගත් එකක් මෙන් පෙනුණේය. ගංවතුර හේතුවෙන් විනාශ වී ගිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී වගාව මහ කන්නයේදී යළි අස්වැද්දීමට කඩිනමින් සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානි සිදු වූ ගොවීන් ප්‍රමාණය, ගොවි බිම් ප්‍රමාණය සහ අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ  වන්දි මුදල් සාධාරණ ලෙස  ලැබිය යුතු පිරිස් වෙතම ලැබිය යුතු බවත්, අසාධාරණ ලෙස එය කිසිවෙකුට හිමි නොවිය යුතු බවත් පෙන්වා දුන්නේය. මෙම වන්දි මුදල් ස්ථීර ලෙසම ගොවි ජනතාවට ලබා දීමට රජය කටයුතු කරන බවත්, ගොවි ජනතාව තුළ විශ්වාසය ඇති කර ඔවුන් යළි වගා කටයුතු සඳහා දිරි ගන්වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා වන්දි ලබා දෙමින් යළි වගා කටයුතු ආරම්භ කිරීම, පශු සම්පත් ක්ෂේත්‍රයේ නිරත ගොවීන්ගේ ජීවනෝපායාමාර්ග යළි සකස් කිරීම, සෞඛ්‍ය සේවා යථාවත් කිරීම, විනාශයට පත් වූ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන සංවර්ධන පිළිබඳ මෙහිදී සාකච්ඡා කළේය.

දෙසැම්බර් 07 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ද සුළි කුණාටුවේ බලපෑම හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දුන් විනාශය සහ එය යළි යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්විය.

ආපදා තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර් 12,729කට පූර්ණ හානි සිදුව තිබෙන අතර එයින් 7,215ක් යළි වගා කළ හැකි මට්ටමේ පවතින බවත්, 5,514ක් වගා කළ නොහැකි බවත් නිලධාරිහු ජනපතිවරයාට පෙන්වා දුන්හ.

ජල සැපයුම නොමැතිවීම නිසා කුඹුරු අස්වැද්දිය නොහැකි නම් ඒ සඳහා තාවකාලික ජල සැපයුම් ලබා දීමට ජලපාවහන මණ්ඩලයට උපදෙස් දුන් ජනාධිපතිවරයා  වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හැකි තරම් අඩු කර ගනිමින් එම කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන ලෙස ද  උපදෙස් දුන් අතර ගොවීන් වෙත බිත්තර වී සහ පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද විමසා බැලීය. එමෙන්ම බඩඉරිගු, එළවළු සහ අතිරේක බෝග වගාවන්ට සිදුව ඇති හානිය සහ එම ගොවි ජනතාව වෙත වන්දි ලබා දිමේ ක්‍රමවේදය ද විමසා බැලිණි.

දිවයින පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ නිවැරදි දත්ත පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් එම නීති සකස් කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළ අතර සත්ත්ව ගොවිපොළ නිසි ලෙස ලියාපදිංචි වී නොතිබීමහේතුවෙන් වන්දි ලබා දීම් ආදි කටයුතුවලදි ගැටලු මතුවන බවද පෙන්වා දුන්නේය. එබැවින් රට පුරා සත්ත්ව ගොවිපොළ පිළිබඳ දත්ත එක් පද්ධතියකට ගෙන නැවත සමාලෝචනයක් සිදු කරමින් වන්දි ලබා දීම් පිළිබඳ කඩිනමින්  ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

දෙසැම්බර් 08 වැනිදා පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ද ජනපතිවරයා සහභාගී වූ අතර එළවළු වගාවට දිට්වා කළ බලපෑම සහ එහි හානි ප්‍රතිපූර්ණය කිරීමට ගත හැකි පියවර සාකච්ඡාවට ලක්විය.

එළවළු සහ අර්තාපල් වගාවට සිදුව ඇති හානිය සහ යළි වගා ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එළවළු අස්වැන්නෙහි අඩුවීම 25%ක් පමණක් බව පෙන්වා දුන් නිලධාරීන් කියා සිටියේ දෛනික එළවළු සැපයීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදු කළ හැකි වුවත්, මේ වන විට දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නීරීක්ෂණය වන බවයි. එයට හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟයක් පවතින බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එළවළු වගාවට සිදු වූ හානිය, බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය, ඔවුන්ට අයත් භූමි ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළවළු වගාව කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවීන්ට වන්දි ලබා දීමේ සහ බීජ සැපයීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද උපදෙස් දුන්නේය. බීජ මිල ඉහළ යාම හේතුවෙන් අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

මහ කන්නයේ කුඹුරු වගා කළ හැකි අන්දමින් වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා කොත්මලේ ජලාශය සම්බන්ධව මතු වූ තත්ත්වය පිළිබඳවද නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

දෙසැම්බර් 08 වැනිදා පස්වරුවේ ඌව පළාත් පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ අතර සුළි කුණාටුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට සිදු වූ හානිය සහ ඒවාට විසඳුම් සෙවිය යුතු ආකාරය සාකච්ඡා කළේය.

ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ වගා බිම් අක්කර 6,711කට හානි සිදුව තිබෙන අතර අදාළ ගොවින් සහ ගොවි බිම් ප්‍රමාණය හඳුනාගෙන කඩිනමින් වන්දි ලබා දී, යළි වගාව සඳහා යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම මහ කන්නය යළි අස්වැද්දිය හැකි අන්දමින් ගොවි බිම් සඳහා තාවකාලිකව හෝ ජල සැපයුම් ලබා දීමට කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

  • වගා හානි ගෙවීම

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවෙන් හානියට පත් මහ කන්නයේ වී වගාවන් යථා තත්වයට පත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 60,000ක වන්දි මුදලක් ලබා දෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා   පසුගිය 08 වැනි දා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමින් පැවසුවේය.

මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය ආසන්න ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන්, කෘෂි පර්‍යේෂණ සහකාර නිලධාරීන්ගෙන් හෝ ගොවිජන සවර්ධන දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි බව ද රණතුංග මහතා පැවසුවේය.

මෙම ආපදාවට පෙර වී වගාවේ අවසන් අදියරයේ දී ඇති වූ ආපදාවල දී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් 40 000ක මුදලක් ද, පැළ ගොයම සහිත මුල් කාලයේ ඇති වන ආපදාවල දී සිදුවන හානි වෙනුවෙන් අක්කරයකට  රුපියල් 16, 000ක මුදලක් පමණක් ලබා දුන්න ද මෙවර එම සහනාධාරය වැඩි කර ඇති බවත් පෙන්වා දුන් කොමසාරිස්වරයා, මහ කන්නය නැවත අස්වද්දන්නට ගොවි මහතුන් දිරි ගැන්වීම මෙහි අරමුණ බව ද සඳහන් කළේය.

  • පශු සම්පත් හානිවලට වන්දි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සත්ත්ව ගොවිපළකට රුපියල් ලක්ෂ දෙකක  දිරිගැන්වීමේ දිමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි, සත්ත්ව නිෂ්පාදන සහ  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා පැවසුවේය.

පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති  සත්ත්ව ගොවිපළවල් සඳහා මෙම දීමනාව ලබා දෙන බව ද ඔහු පැවසීය.

ගොවිපළවල ඇතිකළ සතුන් මිය යාම, ගොවීන්  නඩත්තු කළ තෘණ වගාවට සිදු වූ හානි සහ සත්ත්ව ගාල්වලට සිදු  වී ඇති පූර්ණ හෝ  අර්ධ  හානිවලට මෙම මුදල ලබා දෙන බව ද සත්ත්ව නිෂ්පාදන සහ  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා සඳහන් කළේය.

මෙම දීමනාව කිරි නිෂ්පාදන ආයතනයට  හෝ එහි උපකරණවලට සිදු වු හානිවලටද  උපරිම සීමාවට යටත්ව ගණනය කිරීමෙන් පසුව ලබා දෙන බව ද ඔහු පැවසුවේය

අදාළ අයදුම් පත්‍රය ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් ලබා ගත හැකි බවත්, එය හැකි ඉක්මනින් ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයට භාර දීමට කටයුතු කරන ලෙසත් ඒ  මහතා පශු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය. අයදුම් පත්‍ර ලබා ගැනීමට අපහසු නම් ක්ෂණික දුරකථන අංක 1918  හෝ පශු වෛද්‍ය නිලධාරි මාලක මහතා (071- 4145242 ) සම්බන්ධ කර ගන්නා ලෙස ද ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේ.

දිට්කා සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්තයට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීම මේ ආකාරයෙන් සිදුවන අතර ආපදා තත්ත්වය හමුවේ සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගැනීමට ගත යුතු පිරියවර සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය ඒ.ඒල්. සන්දික මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.

  • විශේෂඥ මතය කුමක් ද ? – මහාචාර්ය ඒ.ඒල්. සන්දික

දිට්කා සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්තයට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීම මේ ආකාරයෙන් සිදුවන අතර ආපදා තත්ත්වය හමුවේ සමස්තයක් ලෙස කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගැනීමට ගත යුතු පිරියවර සම්බන්ධයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය ඒ.ඒල්. සන්දික මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.

  • දේශගුණික විපර්යාස සමඟ සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය බරපතළ අභියෝගයකට ලක්ව තිබෙන බව පිළිගත් කරුණක්. මෙවැනි පසුබිමක් තුළ අපේ ගොවීන්ට ආන්තික කාලගුණ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද ?, ඔවුන් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගන්නේ කොහොම ද ?

මුලින්ම වැදගත් කරුණක් දෙස අපි අවධානය යොමු කළ යුතුයි. අපේ ඉඩම් පරිහරණ රටාවේ බරපතළ ගැටලුවක් තිබෙනවා. මිනිස් වාසයට නුසුදුසු ස්ථානවල මිනිසුන් පදිංචි වෙනවා, වගා කටයුතු කරනවා. අති සංවේදී ප්‍රදේශවල, ඉහළ කඳු මුදුන් සහ ආන්තික බෑවුම්වල පවා වගා කටයුතු කරමින් පදිංචිව සිටිනවා. අලිමංඩකවල, මහ කැලෑ මැද්දේ ගොවිතැන් කරනවා, ගෙවල් දොරවල් හදා ගන්නවා. විවිධ මැදිහත් වීම් නිසා මේ ගැටලුව තව දුරටත් උග්‍ර වී තිබෙනවා.  මේ නිසා ගංවතුර, නායයෑම් සහ නියඟය වැනි ස්වභාවික ආපදාවලට අමතරව අලි – මිනිස් ගැටුම, වන සත්ත්ව හානි ඇතුළු ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. මේ අර්බුදයෙන් හරි පාඩමක් ඉගෙන ගෙන අපේ ඉඩම් පරිහරණ රටාව නැවත සමාලෝචනය කළ යුතුයි. ඒක තමයි මූලික, පළමු අවශ්‍යතාව වෙන්නේ. අපේ අවිධිමත් ඉඩම් පරිහරණ රටාව වෙනස් කර නො ගෙන වෙන මොනවා කළත් වැඩක් නැහැ. අපේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක මේක අසීරු අභියෝගයක්. නමුත් ඉදිරියේ දී තවත් අනතුරුවල වැටෙනවාට වඩා දැන්වත් මේ තීන්දුව ගත යුතුයි. මේ අවිධිමත් ඉඩම් පරිහරණ රටාව නිසා තමයි මේ තරම් විනාශයක් වුණේ. මම යළිත් අවධාරණය කරනවා, මුලින්ම අපේ අවිධිමත් ඉඩම් පරිහරණ රටාව නිවැරදි කරගත යුතුයි.

ඒ වගේම අපේ ගොවිජනතාව ඔරොත්තු දීමේ හැකියාව වැඩි වර්ධනය කරගත යුතුයි. පාශු සංරක්ෂණය, ආරක්ෂිත ගෘහ තුළ වගාව, බෝග මාරුව වැනි ක්‍රමවලට යා යුතුයි. එසේම නවීන තාක්ෂණික ක්‍රම වෙත අපි ගමන් කළ යුතුයි. දේශගුණය, කාලගුණය, ස්වභාවික ආපදා පාලනය කරන්න අපට හැකියාවක් නැහැ. අපට පුළුවන් අනුවර්තනය, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම ආදිය තුළින් හානිය අවම කර ගන්න.

  • මේක අපේ ගොවීන්ට කරන්න පුළුවන් ද ?

පුළුවන්. වර්තමානය වන විට අපේ තරුණ ගොවීන් සැලකිය යුතු පිරිසක් ආරක්ෂිත ගෘහ තුළ වගාවට යොමු වෙලා තිබෙනවා. එසේම බින්ඳු ජල සම්පාදනය වැනි නවීන තාක්ෂණික ක්‍රම වෙත යොමුවෙලා තිබෙනවා. අනෙක් අතට අද මේ දැනුම ලබා ගැනීම ඉතාම පහසුයි, මිල අඩුයි. නමුත් ප්‍රාග්ධන ගැටලු තිබෙන ගොවීන්ට රාජ්‍ය මැදිහත්වීම තුළ අඩු පොළී ණය හෝ ආධාර ලබාදීම තුළින් ඔවුන් වඩාත් ඔරොත්තු දෙන ගොවීන් බවට පත්කළ හැකි නම් වඩාත් හොඳයි. මම හිතන්නේ වර්තමාන ආපදාවෙන් අපේ ගොවීන් ඉගෙන ගත යුතු පාඩමත් ඒකයි.

  • ගොවීන්ට වඩාත් වාසිදායක සහ තිරසර විසඳුමක් තිබෙනවා ද ?

වර්තමානය වන විට දේශගුණික රටාවන් පැහැදිලිව වෙනස් වී තිබෙනවා. වර්ෂාපතන ඍතු වෙනස් වෙලා. ආන්තික කාලගුණික සිදුවීම් ගැන පුරෝකථනය කරන්නත් බැරි තරම් ක්ෂණිකව සිදුවෙනවා. මේ නිසා නවීන තාක්ෂණය වෙත ගමන් කරනවා වගේම කන්න රැස්වීම් තබමින් සියලු ගොවීන් පොදු මතයකට යා යුතුයි. ඒ වගේම නිසි විද්‍යාත්මක ඇගයීමකින් පසු සුදුසු ආකාරයකට වගා කන්න යළි ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. ඒ වගේම කෙටි කාලීන බෝග වගාව වෙත මාරු වීමත් ඉතාම වැදගත්. මාස තුනහමාරේ වී වගාවට පුළුවන් තරම් යන්න ඕනෑ. එකම බෝගයක් වගා කිරීම වෙනුවට බෝග කිහිපයක් වගා කිරීම වැනි ක්‍රමවේදයන් වලට අපේ ගොවීන් ගමන් කළ යුතුයි. එසේ නොකළොත් හැමදාම අවදානම් දරා ගනිමින් ගොවිතැන් කළ යුුතුයි.

  • කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණා මොනවාද ?

වත්මන් ආණ්ඩුවට කලින් කෘෂිකාර්මාන්තයට අයත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තිබුණේ තැනින් තැන. අමාත්‍යාංශ ගණනාවක් අතර කෘෂිකර්මාන්තය බෙදී තිබුණා. නමුත් වර්තමාන ආණ්ඩුව ඒ සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කියන එකම අමාත්‍යාංශයක් යටතට ගෙන තිබෙනවා. ඒක ඉතාම වැදගත්. මේ නිසා අන්තර් සම්බන්ධතාව හොඳට සිදුවෙනවා. මේ නිසා ප්‍රතිපත්තිමය තීන්දු – තීරණ ගැනීමට පහසු වෙලා තිබෙනවා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය සහ සංවර්ධනය වෙනුවෙන් රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නවා, ඒකට ප්‍රමුඛතාව ලබා දෙනවා.

රතුඉර පුවත්පතේ 2025 දෙසැම්බර් 14 දින ප්‍රකාශයට පත් වූ ලිපියකි

සටහන – භාතිය බරුකන්ද

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website