Tri-Nation T20: සිම්බාබ්වේ පිලට එරෙහි පහසු ජයකින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට පිවිසෙයි

ZIM vs SL 2025, ZIM vs SL 1st ODI Match Report, August 29, 2025 - Madushanka seals thriller with last-over hat-trickයළිත් සුපුරුදු දක්ෂතා අතරට පිවිසි පැතුම් නිස්සංක පන්දු 58 කින් නොදැවී ලබා ගත් ලකුණු 98 ක සුපිරි ඉනිම හේතුවෙන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ සිම්බාබ්වේ පිලට එරෙහිව ඊයේ  (25) රාවල්පිණ්ඩිහි පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙය මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

මෙම තරගාවලිය යටතේ අවසන් මහ තරග බලාපොරොත්තුව රඳවා ගැනීමට ජයග්‍රහණය අතිශයින්ම තීරණාත්මක වුණු මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහයණය සපුරා ගන්නා ලද්දේ පන්දුවාර 16.2 ක් පමණක් වැය කරමිනි. එසේ ලද පහසු ජයත් සමග ශ්‍රී ලංකාවට තවදුරටත් අවසන් මහ තරගය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව උදාවී තිබේ.

නිස්සංකගේ ගිණි කෙළි සංදර්ශනයට පෙර තරගයේ වැඩි වාසි අත්කර දීමට පන්දු යවන්නන් සමත්විය. ඔවුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 20 කදී ලකුණු 146 කට සීමා කරන ලද්දේ ඔවුන්ගේ කඩුලු 5 ක් පමණක් දැවී ගොස් තිබියදීය.

මෙහිදී කැපී පෙනෙන  පන්දු යැවීමක නිරත වුණු වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා ලකුණු 23 කදී කඩුලු 2 ක් බැගින් දවාලමින් පන්දුවෙන් කැපී පෙනුණහ. බ්‍රයන් බෙනට් (34), සහ සිකන්දර් රාසා (37) ලකුණු 30 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කිරීමට සමත් වුවද හසරංගගේ ගොදුරු ලෙසින් ඔවුන් දෙදෙනාම ඉවත්ව ගියහ. එහෙත් සටන නොහල රයන් බර්ල් අවසන් පන්දුවාරයේදී ලබා ගන්නා ලද ලකුණු 11 ද සමග පන්දු 26 කදී වේගවත් ලකුණු 37 ක් එක් කළේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

එහෙත් බර්ල්ගේ පිතිකරණය, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා අභිබවා යෑමට අද දිනයේදී ප්‍රමාණවත් නොවිණ. අද තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග වරම් දිනාගත් 112 වැනි ක්‍රීඩකයා බවට පත්වෙමින් පවන් රත්නායක මංගල විස්සයි-20 තරග වරම් දිනාගත්තද ඔහුට පන්දුවට පහර දීමට අවස්ථාවක් නොලැබිණ. නිස්සංකගේ කැපී පෙනෙන ඉනිම ඊට ප්‍රධානම හේතු සාධකය වූවේය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 107 ක සුපිරි ශතකයෙන් පසු තරග වැදි අවසන් තරග 5 දීම දැවැන්ත ඉනිම ක්‍රීඩා කිරීමට පැතුම් අපොහොසත් විය. ඔහුගේ අවසන් ඉනිම 5 සටහන් වූයේ 29, 24, 24, 00 සහ 17 වශයෙනි. කෙසේ වෙතත් අද දිනයේ නොදැවී රැස් කරන ලද ලකුණු 98 ත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග අංශය යටතේ වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සහ විස්සයි-20 තරග අංශයේ වැඩිම පිතිකරණ සාමාන්‍යයක් හිමි පිතිකරුවාගේ වාර්තා තමන් සතු කර ගැනීමට පැතුම් සමත්විය. පැතුම් මේ වන විටත් විස්සයි-20 තරග 77 කට ක්‍රීඩා කරමින් මුලු ලකුණු 2326 ක් රැස් කරගෙන සිටින්නේ මීට පෙර එහි පෙරමුණ ගෙන සිටි කුසල් ජනිත් පෙරේරා (2305) පසුකර යමිනි. පිතිකරණ සාමාන්‍යය යටතේ පැතුම්ට පිටුපසින් සිටින්නේ හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන වන අතර ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 31.76 ක් ලෙසින් සටහන් වේ.

මෙම වේගවත් පිතිහරඹයට ස්තූතිවන්නට ශ්‍රී ලංකාව පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 64 ක් වාර්තා කර ගැනීමට අවස්ථාව උදාවූ අතර ඉන් ලකුණු 37 ක්ම පැතුම්ගේ පිත්තෙන් වාර්තා විය. තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ අවසන් පන්දුවාර 4 න් පන්දු 2 ක් පමණි. ඉන් එක් පන්දුවක් වයිඩ් පන්දුවක් බවට පත් වද්දී දෙවැනි පන්දුව හතරේ සීමාවටද තෙවැනි පන්දුව හතරේ සීමාවට ඔබ්බෙන් වූ දැවැන්ත හයේ පහරක් ලෙසින්ද එල්ල කළ පැතුම් ඉක්මන් ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගියේය. තරගය අහවර වන විට පැතුම්ගේ නම ඉදිරියෙන් හයේ පහර 4 ් සහ හතරේ පහර 11 ක් ලියැවී තිබිණ. ඔහු සමග තරග අහවර වන තෙක් කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස් පන්දු 25 කදී ලකුණු 25 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිල සහභාගිවන මීළඟ තරගය මේ මස 27 වැනි බ්‍රහස්පතින්දා පාකිස්තානු කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.

සිම්බාබ්වේ පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 146 යි – (බ්‍රයන් බෙන්ට් 34, බ්‍රෙන්ඩන් ටේලර් 14, සිකන්දර් රාසා 37, රයන් බර්ල් 37*, මහීෂ් තීක්ෂණ 23/2, වනිඳු හසරංග 23/2, දසුන් ශානක 36/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 16.2 කදීි කඩුල්ලක් දැවී ලකුණු 148 යි – (පැතුම් නිස්සංක 98*, කමිල් මිශාර 12, කුසල් මෙන්ඩිස් 25*, බ්‍රෑඩ් එවන්ස් 36/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වේබ් අඩවිය ඇසුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website