‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය සාර්ථකව සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබාදුන් ප්රමුඛ පෙළේ දේශීය හා විදේශීය ආයතනවල දායකත්වය ඇගයීමේ විශේෂ උත්සවයක් 2026 නොවැම්බර් 09 වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) පරිශ්‍රයේදී පැවැත්විණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ මෙරට ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය වේ.
මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා සහයෝගය හා අනුග්‍රාහකත්වය ලබාදෙන ලද ආයතන පහත පරිදි වේ.
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- ජාතික නිර්මාණ මධ්‍යස්ථානය (NDC)
- SLT-MOBITEL
- ඇක්බාර් බ්‍රදර්ස් (පුද්ගලික) සමාගම
- හේලීස් පී.එල්.සී
- පොල් සංවර්ධන අධිකාරිය
- ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC)
- ජර්මානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (GIZ)
- හැටන් නැෂනල් බැංකුව
- කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (පුද්ගලික) සමාගම
- ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)
- PEO TV
- බාබරින් ආයුර්වේද රිසෝට්
- ශ්‍රී ලන්කන් ගුවන් සේවය
- රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස් ලිමිටඩ්
- ඔරෙල් අයිටී
- ටයිම් ප්ලෑන් පබ්ලිෂිං (පුද්ගලික) සමාගම
- කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය (PIMA)
- බයෝ ෆුඩ්ස්
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අධ්යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා, අතිරේක අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහත්මිය, අතිරේක අධ්යක්ෂ ජනරාල් (මුදල් හා පරිපාලන) රොෂාන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ හවුල්කාර ආයතනවල නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
හවුල්කාර ආයතන විසින් මූල්‍යමය වශයෙන් මෙන්ම මූල්‍යමය නොවන ආකාරයෙන් ද ලබාදුන් දායකත්වය අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් මෙහිදී ඉහළින් අගය කරන ලදී.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය 2027 ජනවාරි මස 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය.
නිෂ්පාදන හා සේවා අංශ 25ක් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් 750ක් පමණ මෙම ප්‍රදර්ශනයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම රටවල් 50කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ජාත්‍යන්තර ගැනුම්කරුවන්, ආයෝජකයින් සහ මාධ්‍ය නියෝජිතයින් ඇතුළු විදේශීය සහභාගිවන්නන් 1,500ක් පමණ ඊට එක්වීමට නියමිතය.
‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ප්‍රදර්ශනයට සමගාමීව ආයෝජන සංසදයක්, කර්මාන්ත ක්ෂේත්රයට විශේෂිත වූ සැසි සහ සංවිධානාත්මක ව්‍යාපාරික සම්බන්ධතා (B2B) හමුවීම් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.
තවද, ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ගේ විලාසිතා දැක්ම, සංස්කෘතික ප්‍රසංග සහ දේශීය ආහාරපාන ප්‍රවර්ධනය කෙරෙන සූපශාස්ත්‍ර ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කෙරේ.
එසේම, “සංස්කෘතිය, උරුමය සහ හස්ත කර්මාන්ත”, “නවෝත්පාදන සහ තාක්ෂණය” සහ “තිරසාර හා හරිත විසඳුම්” යන තේමා යටතේ විශේෂ තේමාත්මක ප්‍රදර්ශන කලාප ද ස්ථාපිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන දිශානතිය පිළිබඳ පුළුල් දැනුමක් හා අවබෝධයක් ලබාදීම මෙම කලාපවල අරමුණ වේ.
‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ සඳහා ලියාපදිංචි වීම සහ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk වෙත පිවිසෙන්න.
















