සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතු අතර අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය, සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වන බවත් එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන බවත් අමාත්‍යවරිය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා රෝගය කලින් හඳුනා ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 02 වැනිදා දිවයින පුරා විශේෂ ජාතික වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නියෝජනය කරන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ගණනාවක සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පරීක්ෂා කිරීමේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.
දිනකට කාන්තාවන් 17 දෙනෙකු පියයුරු පිළිකාවෙන් පෙළෙන බවට හඳුනා ගනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 6,000 ක් පමණ වාර්තා වේ. එසේම වසරකට මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර, එය දිනකට ජීවිත තුනක් පමණ අහිමි වීමට සමානය. පියයුරු පිළිකාවක් ආරම්භක අවස්ථාවේදීම හඳුනාගතහොත් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වේ. බිය, ලැජ්ජාව හෝ දැනුවත්භාවය අඩුකම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීම ප්‍රමාද වීම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගෙන ඇත.
සෑම කාන්තාවක්ම තම පියයුරුවල සාමාන්‍ය ස්වභාවය පිළිබඳව හුරුපුරුදු වීමත්, නිතිපතා ස්වයං පරීක්ෂාව සිදු කිරීමත් කළ යුතුවේ. අසාමාන්‍ය වෙනසක් හඳුනාගතහොත් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. කල්තියා හඳුනා ගැනීමෙන් සාර්ථක ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව වැඩි වන අතර රජයේ සෞඛ්‍ය ආයතන මඟින් නොමිලේ පරීක්ෂණ සහ අනෙකුත් අතවශ්‍ය සෞඛ්‍ය සේවා සපයනු ලැබේ.
එසේම, සෑම කාන්තාවක්ම සුවනාරී සායනයට (Well Woman Clinic) සහභාගී වී, ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා පූර්වමය පිළිකාමය වෙනස්කම් කල්තියා හඳුනා ගැනීමට උපකාරී වන නිර්දේශිත පැප් පරීක්ෂාව වයස අවුරුදු 35 දී සහ 45 දී සිදු කර ගැනීමත් කළ යුතු වේ.
















