ගෑස් සඟවාගෙන කෘත්‍රිම හිඟයක් මවන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින් – පාරිභෝගික කටයුතු අධිකාරිය

ගෑස් සඟවාගෙන කෘත්‍රිම හිඟයක් මවන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

එම නිවේදනය පහත දැක්වේ.

රට තුළ පවතින ගෑස් සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් කෘත්‍රිම හිඟයක් නිර්මාණය කිරීම, ගෑස් සිලින්ඩර් සඟවා තබාගැනීම සහ පාරිභෝගිකයන්ට අසාධාරණ කොන්දේසි පනවා වැඩි මිලට අලෙවි කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.

ගෑස් සිලින්ඩර් තමන් සතුව තිබියදීත්, ගෑස් නොමැති බව පවසමින් පාරිභෝගිකයන්ට අලෙවිය ප්‍රතික්ෂේප කරන වෙළෙඳුන් පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැටලීම් ආරම්භ කර තිබෙනවා.

🔴 මහනුවරින් හෙළි වූ වංචාව

පසුගිය 02 වැනිදා මහනුවර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගෑස් නොමැති බව පවසමින් පාරිභෝගිකයන්ට අලෙවිය ප්‍රතික්ෂේප කළ වෙළෙඳසලක සඟවා තිබූ කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 28ක් සොයාගෙන තිබෙනවා.

අදාළ වෙළෙන්දාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන එම සිලින්ඩර් 28 රාජසන්තක කිරීමටද පියවර ගෙන තිබෙනවා.

🔴 කොළඹ දිස්ත්‍රික්කයේත් විශේෂ වැටලීම්

මෙවැනි අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් අද (03) දිනයේදීත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එමෙන්ම, ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන අලෙවිය ප්‍රතික්ෂේප කරන අලෙවි නියෝජිතයන්ගේ නියෝජිත බලපත්‍ර අත්හිටුවීමටද ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඔබත් මෙවැනි වංචාවකට මුහුණ දුන්නාද?

ගෑස් සිලින්ඩර් සඟවා තබාගැනීම, අලෙවිය ප්‍රතික්ෂේප කිරීම හෝ නියමිත මිලට වඩා වැඩි මිලක් අය කිරීම වැනි සිදුවීම් පිළිබඳ තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්න.

✅ පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරමින් අයුතු ලාභ උපයා ගැනීමට කිසිවෙකුටත් ඉඩ ලබා දෙන්නේ නැහැ. ගෑස් සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීමට කටයුතු කරන අතරම, එම තත්ත්වය අවභාවිත කරමින් ජනතාව සූරාකන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website