මේ දිනවල දේශපාලන සමාජය පමණක් නොවන නීතිඥ ප්රජාව සහ සිවිල් සමාජය ද කාර්යබහුල වී සිටී. ඒ පොදුවේ සමස්ත සමාජයටම අතිෂය වැදගත් පනත් කෙටුම්පත් දෙකක් රජය විසින් ගැසට් කර ඇති නිසාය. මින් එකක් වන්නේ ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතයි, අනෙක පසුගිය (ඔක්තෝබර්) 06 වැනි දින ගැසට් පත්රයේ පළ කරන ලද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතයි.
පොදුවේ ගත් විට පොදු ජන සමාජයට මේ පනත් ගැන සැලකිය යුතු අවබෝධයක් නැත. ඔවුන් මේ පනත් දෙක එකක් ලෙස සලකන අවස්ථා ද දැක ගත හැකිය. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් අවශ්ය වන්නේ මේ නිසාය. මේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ‘කතිකාව’ 295 වැනි සංවාදයේ දී මහාචාර්ය රොහාන් සමරජීව මහතා කළ විශ්ලේෂණයකි.
- සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දේශපාලන කරළිය තුළ මෙන්ම නීතිඥ ප්රජාව අතර ද දැඩි සංවාදයට ලක්ව තිබෙනවා. නමුත් ජනතාවට මේ ගැන වැඩි අවබෝධයක් නැති බව පැහැදිලි කරුණක්. ඔබට මේ පනත් කෙටුම්පත ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
මේ සංවාදය ආරම්භ කිරීමට පදනමක් ලෙස පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී විදේශ අමාත්ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාවක් උපුටා දැක්වීම සුදුසුයි. එම කතාවේ මූලික හරය අනුව, ත්රස්තවාදය වැළැක්වීමේ පනතට බොහෝ දෙනෙක් විරුද්ධ හෙයින් එම පනත සංශෝධනය අහෝසි කර කිරීමට ආණ්ඩුව සූදානම්, නමුත් මේ අවස්ථාවේ ආණ්ඩුව මෙම පනත භාවිත කරන්නේ සංවිධානාත්මක අපරාධවලට සහ පාතාලයේ අපරාධකරුවන්ට විරුද්ධව බව ද විදේශ අමාත්යවරයා පවසනවා. මත්ද්රව්ය සහ පාතාල අපරාධකරුවන් අතර බහුතරය සිංහල අපරාධකරුවන් බව ද විදේශ අමාත්යවරයා පවසනවා. ‘එක දේකට හදපු පනතක් දැන් වෙන දේකට පාවිච්චි කරනවා’ කියලා අමාත්යවරයා වැඩි දුරටත් පවසනවා.
ලෝකයටම එපා වුණ පනතක්
ත්රස්තවාදය වැළැක්වීමේ පනත දේශීය මෙන්ම ජාත්යන්තරව ද දැඩි විවේචනයට භාජනය වූ පනතක්. එක්සත් ජාතීන්, යුරෝපා සංගමය සහ ජිනීවා මානව හිමිකම් සමුළුව අවස්ථා ගණනාවක දී මෙම පනත හෙළා දැක ඇති අතර එය අහෝසි කරන ලෙස ද ශ්රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා. විදේශ අමාත්යවරයාගේ ඉහත සඳහන් කරන ලද ප්රකාශය ද ජාත්යන්තර ප්රජාවට කළ උත්තර බැඳීමක් ලෙස සැලකිය හැකියි.
පසුගිය දීර්ඝ කාලයන් පුරා ත්රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දේශපාලනික හා නෛතික වශයෙන් අත්දැකීම් රැසක් මට තිබෙනවා. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙස අවධානය යොමු කරන විට මට හිතෙනවා ත්රස්තවාදය වැළැක්වීමේ පනත දියුණු වෙලා කියලා. නමුත් ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ දුර්වලතා ගණනාවක් තිබෙනවා. විශේෂයෙන් මහේස්ත්රාත්වරයෙකුගේ අනුමැතියෙන් තොරව, ඒ කියන්නේ යම්කිසි සැකකරුවෙක් මහේස්ත්රාත්වරයෙක් වෙත ඉදිරිපත් නොකර විවිධ ස්ථානවල රඳවා තබා ගැනීමට අවශ්ය බලතල ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබෙනවා.
ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ මෙවැනි බලතල සම්බන්ධ යම් යම් වෙනස්කම්, ධනාත්මක වෙනස්කම් කිහිපයක් කරලා තිබෙනවා. නමුත් ප්රශ්නයක් තිබෙනවා. මේ වෙනස්කම් බොහොමයක් අවසානයේ නතර වෙලා තිබෙන්නේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළයි. උදාහරණයක් ලෙස සැකකරුවෙකුගේ බැංකු ගිනුම් ඇතුළු ලේඛන පරීක්ෂා කිරීමට අවශ්ය බලතල විමර්ශන නිලධාරීන්ට මේ පනතින් දීලා තිබෙනවා. දැන් කාලයක් තිස්සේ සෑම නඩුවක්ම පාහේ විමර්ශනය කරන්නේ ජංගම දුරකථන වල වාර්තා පදනම් කරගෙන. සැකරුවන් අනෙක් පාර්ශ්ව හෝ පුද්ගලයින් සමඟ කළ දුරකථන සංවාද හෝ පණිවිඩ පදනම් කරගෙන. මේ හා සම්බන්ධ නෛතික ප්රතිපාදන රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතින් ඉවත් කරලා තිබුණා. නමුත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ මේ ප්රතිපාදන සම්පූර්ණයෙන්ම තිබෙනවා.
නිර්වචනාත්මක ගැටලු
යම්කිසි පනතක නිර්වචන කිරීම ඉතාම වැදගත්. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ 03 වැනි වගන්තියේ මේ ගැන සඳහන් වෙනවා. ඒක ඉතාම වැදගත් වගන්තියක්. ඒ අනුව මේ පනතින් නම්කර ඇති අපරාධවලට මේ නිර්වචනය අදාළ වෙනවා. ඒ කියන්නේ මේ පනත් කෙටුම්පතේ යම්කිසි නව අපරාධයක් නිර්වචනය කරලා තිබෙනවා නම්, ඒ අපරාධය නඩු විධිවිධාන සංග්රහයටත් අදාළ වෙනවා.
ඊට අමතරව වගන්ති වශයෙන් සඳහන් කරලා උප ලේඛනයක් දීලා තිබෙනවා. ඒ කියන්නේ පුරාවිද්යා පනත්වල අදාළ වගන්ති, පරිඝණක අපරාධ පනතේ වගන්ති ආදි වශයෙන් දීර්ඝ උප ලේඛනයක් තිබෙනවා.
ඊට අමතරව තවත් වැදගත් වගන්තියක් තිබෙනවා. ලංකාවේ තියෙන අපරාධ නීතියක ‘වරදක්’ලෙස නිර්වචනය කරලා තිබෙන වරදකට දෙන උපරිම දඬුවම අවුරුදු හතරකට වැඩි නම් ඒවත් ඇතුළත් කියලා වගන්තියක් මේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. මෙහි අදහස තමයි පනතේ සඳහන් කරලා තිබෙන අපරාධවලට අමතරව ඔ්නෑම පනතකින් අවුරුදු හතරකට වඩා වැඩි දඬුවමක් නියම කරන ඔ්නෑම අපරාධයක් සංවිධානාත්මක අපරාධ පනතට අදාළ වෙනවා.
බරපතළ තත්ත්වය තව දුරටත්
මේ පනතේ තව දුරටත් සඳහන් වන ආකාරයට, තිදෙනෙකුට වැඩි පිරිසක් විසින් අපරාධ කල්ලියක් ලෙස කටයුතු කරනවා නම් ඒකත් නව පනතට අදාළ වෙනවා. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා නඩු තීන්දුවෙන් දඬුවම් නියම කරන ලද පුද්ගලයින් ද මේ පනතට යටත් වෙනවා, ඒකට හේතුව තමයි ඔවුන්ට අවුරුදු හතරකට වඩා වැඩි වසර ගණනක සිරදඬුවම් නියම කරලා තිබීම. මෙහි විශේෂත්ව වන්නේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා දඬුවම් නියම කරන ලද මේ කණ්ඩායම රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතට මෙන්ම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට ද අදාළ වෙනවා.
ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ මම මුලින් දැකපු දියුණු කිරීම් සේරම වෙනත් මාර්ගයකින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එක් කරලා තිබෙනවා. මෙතන යම්කිසි අවුලක් වගේම යම්කිසි කූඨ අරමුණකුත් තිබෙනවාද කියලා හිතෙනවා. ඒකට හේතුව තමයි සියලු දෙනාගේම ඇස යොමු වන්නේ රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට. එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, ජිනීවා මානව හිමිකම් සමුළුව ආදී සියලු දෙනා අවධානය යොමු කරලා තියෙන්නේ රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනතට. ඒ නිසා ඒ පනත ටිකක් සුදු කරලා තිබෙනවා. නමුත් පස්සේ කාලෙක සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත උඩින් ගේන්න පුළුවන්කම තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවෝ කවුද ?
දැන් තිබෙන වැදගත්ම ප්රශ්නය තමයි ‘සංවිධානාත්මක අපරාධකරුවෙක් කියන්නේ කවුද ?’ කියන එක නිර්වචනය කර ගැනීම. යෝජිත පනතේ ඒක බොහොම ‘ලිහිල්ව’ තමයි ලියලා තියෙන්නේ. ඒ අනුව ‘ඉතා ගැඹුරු ප්රශ්නයක්’ උද්ගත වෙනවා. ඒකට හේතුව තමයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතින් කිසිම පනතක් අහෝසි කරන්නේ නැහැ, සංශෝධනය කරන්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ. නව පනත තිබෙන නීතියට ඉහළින් ‘ස්ථරයක්’ වගේ තමයි තියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්ථරයට ඇතුළත් කළාට පස්සේ අපේ සාක්ෂි ආඥා පනතේ ආරක්ෂාවන් (පාපොච්චාරණයක්) වලංගු භාවයෙන් තොර ඒවා බවට පත්වෙනවා.
ඊටත් වඩා භයානක තත්ත්වයක් තිබෙනවා. මේ පනත අනුව සැකකරුවෙක් පැය 72ක් පමණක් නොව අවශ්ය නම් දින 60ක් මහේස්ත්රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමකින් තොරව රඳවා තබා ගන්න පුළුවන්. ඒ බලතල ලැබෙන්නේ දේශපාලනිකව වගකීමක් නැති නිලධාරියෙකුට, එසේ නොමැති නම් විෂයභාර අමාත්යාංශයේ ලේකම්වරයාට තමයි මේ වගකීම පැවරෙන්නේ.
මේ සම්බන්ධ ලිහිල් නිර්වචනය අනුව යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ත්රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා බරපතළ, බිහිසුණු පනතක් කියලා, එසේ නොමැති නම් විය හැකියි කියලා.
මහජන විරෝධයක් නෑ
දැන් වෙලා තිබෙන දේ පැහැදිලියි. අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට මහජනතාව අතරින් විරෝධයක් පැන නොනගින බව පැහැදිලි කරුණක්. අනෙක් අතට සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ යහපැවැත්මට, ආරක්ෂාවට බරපතළ තර්ජනකි. ඒ නිසාම මේ පනතට, ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත’ යනුවෙන් ආකර්ෂණීය නමක් ලබා දී තිබෙනවා. ඒ නිසාම ස්වභාවයෙන්ම මේ පනතට විරුද්ධ වීමට පොදු ජනතාවට නොහැකියි. ත්රස්තවාදය විරුද්ධ විය යුතු දෙයක් වන්නේ යම්සේ ද සංවිධානාත්මක අපරාධවලට ද විරුද්ධ විය යුතුයි. එහි තර්කයක් නැහැ.
නමුත් ප්රශ්නය වන්නේ ‘ඉතාමත්ම දුර්වල’ නිර්වචනයක් සංවිධානාත්මක අපරාධයක් සම්බන්ධයෙන් ලබාදීමයි. මෙයම ත්රස්තවාදය සම්බන්ධයෙන් ද තිබුණ පොදු ගැටලුවකි. රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත යම් පමණකට මෙම ගැටලුවට ආමන්ත්රණය කළ ද සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ ඒ ගැටලුව තව දුරටත් පවතිනවා. උදාහරණයක් ලෙද සමාජ මාධ්ය නියාමන පනත යටතේ සිදුකරන ලද අපරාධයක් ද (තුන් දෙනෙකුට වඩා වැඩි පිරිසක් එක් වී සිදු කළ හා වසර හතරකට වඩා සිර දඬුවම් නියම වූ) සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අදාළ කර ගත හැකිය. යම්කිසි අපරාධයක් මෙම පනතට අදාළ කර ගත් වහාම සාක්ෂි ආඥා පනත යටතේ හිමිවන රැකවරණය ( පාපොච්චාරණය) අහෝසි වීම සිදු වන හෙයින් ජනතාව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙස වඩාත් පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලිය යුතුයි.
ඔබ පැහැදිලි කළා පනත් කිහිපයක් එකතු කරලා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න පුළුවන් කියලා. මේ ගැන තව දුරටත් පැහැදිලි කරන්න පුළුවන් ද ?, මොකද අපි දකිනවා වර්තමානයේ අල්ලස් කොමිෂම වැනි විමර්ශන ආයතන ද පනත් කිහිපයක් යටතේ නඩු පවරන ප්රවණතාවක් තිබෙනවා ?
මම දිගින් දිගටම පැහැදිලි කළ අනතුර මේක තමයි. ඒකට හේතුව තමයි මේ පනත යටතේ අලුතින් හඳුන්වා දෙන වැරදි, අපරාධ සුළු සංඛ්යාවක් පමණයි තියෙන්නේ. නමුත් 03 වැනි වගන්තිය යටතේ තිබෙන වැරදි, උප ලේඛනය යටතේ තිබෙන වැරදි තිබෙනවා. නමුත් ඒවා පැහැදිලිව දක්වා තිබෙනවා. නමුත් ‘අවුරුදු හතරකට වඩා වැඩි’ සිර දඬුවම් කාලයක් නියම කිරීම තුළ තමයි ගැටලුව නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු හතරකට වඩා සිර දඬුවම් නියම වන ඔ්නෑම අපරාධයක් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අදාළ කර ගන්න පුළුවන්.
වර්තමාන නීති සම්පාදකයින් කෙටි සිර දඬුවම් වලට ඒ හැටි කැමැත්තක් නොදක්වන බව පේනවා. නමුත් අධිරාජ්යවාදී නීතියේ, දණ්ඩ නීති සංග්රහයේ ඇතැම් අපරාධවලට උපරිම දඬුවම අවුරුදු දෙකක් වන, අද කාලයේ හැටියට බරපතළ අපරාධ තිබෙනවා. උදාහරණයක් ලෙස රාජ්ය අප්රසාදයට පත් කිරීමේ වරදට ලබා දෙන්න පුළුවන් උපරිම දඬුවම අවුරුදු දෙකයි. (දණ්ඩ නීති සංග්රහයේ 120 වගන්තිය)
දේශපාලන සන්දර්භය
මෙහි දේශපාලන සන්දර්භය දෙස ද අවධානය යොමු කළ යුතුයි. ලංකාවේ අධිකරණය හමුවේ පවරන ලද අපරාධ නඩුවකින් අවසානයේ වරදකරුවන් බවට පත්වන්නේ ඉතා සුළු පිරිසක්. විශේෂයෙන් ආණ්ඩුව විසින් අධිකරණය හමුවේ පවරන නඩු වලින් වැඩි ප්රමාණයක් පරාජයට පත්වෙනවා. එසේ නොමැති නම් නඩු විභාගයට දීර්ඝ කාලයක් ගතවන අතර චූදිතයා මරණයට පත්වීම වැනි නොයෙකුත් හේතු මත නඩුව පරාජයට පත්වීම හෝ ඉල්ලා අස්කර ගැනීම සිදුවෙනවා.
මේ අනුව පැහැදිලි වන්නේ ආණ්ඩුවේ විමර්ශන අංශවල, විමර්ශන ක්රම වල යම් යම් දුර්වලතා පවතින බවයි. මෙවැනි තත්ත්වයක් තුළ විමර්ශන අංශවල අදහස වන්නේ, ගැටලුව තිබෙන්නේ විමර්ශනවල දුර්වලතා හෝ තමන්ගේ අඩුපාඩු මත නොව තමන්ට අදාළ විමර්ශන සඳහා ප්රමාණවත් අවකාශයක්, අවස්ථාවක් ලබා දී නැති බවයි, නොයෙකුත් නීති හරහා තමන්ගේ විමර්ශන දුර්වල කර ඇති බවයි. පාපොච්චාරණ, බැංකු වාර්තා, දුරකථන සංවාද වාර්තා ආදිය අවශ්ය පරිදි ලබා ගත නොහැකි බවයි.
මෙහි දී ඔවුන්ගේ උපක්රමය වන්නේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගයකින් තොරව, මහේස්ත්රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමකින් තොරව විමර්ශන අංශ භාරයේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබා ගැනීමෙන් අදාළ සැකකරුවන්ට යම්කිසි මානසික පීඩනයක් එල්ල කිරීමයි. එසේ නොමැති නම් සුරේෂ් සලේට මෙන් අඛණ්ඩව කායික හා මානසික වධබන්ධන පැමිණවීමයි. මේ පීඩනය හරහා ඇති කරන භීතිය තුළින් අදාළ සැකරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීමයි.
නමුත් ප්රශ්නය වන්නේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පාපොච්චාරණ ලබා ගත නොහැකි අතර සාක්ෂි ආඥාපනත යටතේ ද ඊට දැඩි සීමා කිරීම් තිබෙනවා. නමුත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඒකට යම්කිසි ඉඩක් හදලා දීලා තිබෙනවා. ඒකට හේතුව තමයි මෙහි දී සාක්ෂි ආඥා පනතේ අදාළ වගන්ති අදාළ නොවන බව සඳහන් වෙනවා.
අනෙක් කරුණ ආණ්ඩු බලය ලබා ගත් පසු සිතන ආකාරය වෙනස් වීමයි. විපක්ෂයේ සිටින විට හිතෙන හිතෙන දේවල් කියන්න පුළුවන් වුණාට ආණ්ඩු බලය ලබා ගත් පසු මුහුණ දීමට සිදුවන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද ආණ්ඩුව කල්පනා කරන ආකාරයට මත්ද්රව්ය ජාවාරම්කරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ආණ්ඩුවට විශාල ජනතා ප්රසාදයක් ලැබී තිබෙනවා. ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කිරීමට ආණ්ඩුව ගන්නා පුළුල් පියවර හේතුවෙන් තමන්ට මහජන ප්රසාදය ලැබිලා තිබෙනවා කියලා ආණ්ඩුව කල්පනා කරනවා. ඒ නිසාම ඉදිරි මැතිවරණ ජයග්රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුවට හැඟීමක් එනවා.
මගේ අදහස අනුව ඇමෙරිකාවේ මාෆියා සංවිධානවලවලට විරුද්ධව පාවිච්චි කළ ඇතැම් නීති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් ඇමෙරිකාවත් මේ නීතිය මාෆියා කල්ලි මර්ධනය කිරීමට අමතරව වෙනත් දේවල් වලටත් පාවිච්චි කළා. ඒ කියන්නේ ඇමෙරිකාව මාෆියා කල්ලි මර්ධනයට පාවිච්චි කළ ඇතැම් නීතිත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ගේන ප්රවණතාවක් තිබෙනවා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 295 වැනි කතිකාවේ දී (සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන විමසුමක්) මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.













