ශ්රී ලංකාව හා ජපානය අතර දශක ගණනාවක් පුරා පැවති ශක්තිමත් මිත්රත්වය සහ සංවර්ධන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, කැලණි ගංගා ද්රෝණියේ පොම්පාගාරය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් බිලියන 2.179ක (ආසන්න වශයෙන් ශ්රී ලංකා රුපියල් බිලියන 4.56ක) ප්රදාන ආධාරයක් ලබාදීමට ජපාන රජය එකඟ වී ඇත.
ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මගින් මෙම ප්රදාන ආධාරය ලබාදෙන අතර, ඉහත ප්රදානයට අදාළ හුවමාරු පත්ර (Exchange of Notes) ශ්රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්රී ලංකාවේ ජපාන තානාපති අතිගරු ISOMATA Akio මහතා විසින් ද, ප්රදාන ගිවිසුම (Grant Agreement) ශ්රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ජපාන ජාත්යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්රී ලංකා කාර්යාලයේ ප්රධාන නියෝජිත HONZU Shigeo මහතා විසින් ද 2026 ඔක්තෝබර් මස 28 දින මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේදී අත්සන් කරන ලදි.
මෙම ව්යාපෘතිය වත්තල හා පෑලියගොඩ ප්රදේශ ආවරණය වන මුදුන් ඇළ උප ද්රෝණියේ ඇති ගංවතුර ගැටලුවට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීම අරමුණු කරයි. එමෙන්ම ගංවතුර අවදානම අවම කිරීම, නාගරික ජනජීවිතය සහ ආර්ථික කටයුතු ආරක්ෂා කිරීම, තිරසාර නාගරික සංවර්ධනයට පහසුකම් සැලසීම සහ ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ද මෙහි ප්රධාන අරමුණු අතර වේ. ව්යාපෘතිය යටතේ තත්පරයකට ඝන මීටර් 15ක ජලය බැහැර කිරීමේ ධාරිතාවයකින් යුත් නව පොම්පාගාරයක් සහ ඊට අදාළ නවීන SCADA අධීක්ෂණ හා පාලන පද්ධතියක් ස්ථාපිත කරනු ලැබේ. එමගින් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යන අවස්ථාවලදී වැසි ජලය කාර්යක්ෂමව බැහැර කරමින් ප්රදේශයේ ගංවතුර අවදානම සැලකිය යුතු ලෙස අවම කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම ව්යාපෘතිය මගින් ප්රදේශවාසීන්ගේ ජීවනෝපායන්, ව්යාපාරික ආයතන, කර්මාන්ත සහ ප්රවාහන යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට දායක වන අතර, පෑලියගොඩ ප්රදේශය වාණිජ, සැපයුම් හා ප්රවාහන කේන්ද්රස්ථානයක් ලෙස තවදුරටත් සංවර්ධනය කිරීම සඳහාද සහාය වනු ඇත. තවද, මෙම ව්යාපෘතිය කොළඹ මහනගර කලාපයේ ගංවතුර කළමනාකරණය සහ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ද වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.
ව්යාපෘතිය ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) විසින් ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක කරනු ලැබේ.
ශ්රී ලංකාවේ යටිතල පහසුකම්, ආපදා අවදානම් කළමනාකරණය සහ තිරසාර සංවර්ධනය සඳහා ජපානය විසින් දීර්ඝ කාලයක් පුරා ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබිඹු කරන මෙම ප්රදාන ආධාරය, දෙරට අතර පවතින විශ්වාසනීය සංවර්ධන හවුල්කාරීත්වයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.













