2027 අයවැයෙන් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානයට නව පනතක් ගේනවා – මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත

ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගැනීමෙන් අනතුරුව රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාම රජයේ මීළඟ ප්‍රමුඛ කාර්යය වන බවත් ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජන ඉහළ නැංවීමත්, ප්‍රාග්ධන වෙළෙඳපොළ වඩාත් ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව සංවිධානය කළ ‘From Resilience to Sustainable Growth – Industry Forum 2026’ ආයතනික ආයෝජක සංසදය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

2027 අයවැය යෝජනා 2026 නොවැම්බර් 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, රජයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන ප්‍රතිපත්ති එම අයවැය තුළින් වඩාත් පැහැදිලිව දැකගත හැකි වනු ඇති බව ද ඔහු පැවසීය.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධන යෝජනා 12න් බහුතරයක් පිළිබඳව මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කර එකඟතාවට පැමිණ ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එම යෝජනා අතරින් කිහිපයක් 2027 අයවැයට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන අතර, ඉතිරි යෝජනා කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම සඳහා රජය විසින් නියම කර තිබූ බොහෝ ඉලක්ක අපේක්ෂිත කාලයට පෙර හෝ නියමිත කාලසීමාව තුළ සපුරාගෙන ඇති බව පැවසූ ඔහු, මීළඟ පියවර වන්නේ එම ස්ථාවරත්වය පදනම් කරගනිමින් සැබෑ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඉතුරුම් සහ ආයෝජන අතර පවතින පරතරය අවම කිරීම සඳහා දේශීය ඉතුරුම් වඩාත් ඵලදායී ලෙස ආයෝජන සඳහා යොමු කිරීමේදී ප්‍රාග්ධන වෙළෙඳපොළට වැදගත් කාර්යභාරයක් පැවරෙන බව ද ඔහු පැවසීය.

ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් රුපියල් ට්‍රිලියන 2ක මුදලක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කිරීමට රජය අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මාර්ග, දුම්රිය මාර්ග, ග්‍රාමීය සම්බන්ධතා ජාල, සැපයුම් හා ප්‍රවාහන පහසුකම් සහ තෝරාගත් සමාජීය වියදම් සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත්, නිලධාරිවාදී ක්‍රමවේද සහ සම්පත් සීමාවන් හේතුවෙන් ප්‍රාග්ධන වියදම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේදී බාධා පවතින බව ද ඔහු පිළිගත්තේය. එම බාධා අවම කරමින් වෙන් කරන ලද මුදල් ඵලදායී ලෙස භාවිත කිරීම සඳහා අවශ්‍ය පියවර පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතින බව ද ඔහු පැවසීය.

රාජ්‍ය ආදායම් රැස් කිරීම සැලසුම් කළ ඉලක්කවලට වඩා ඉදිරියෙන් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම සියයට 15.4 දක්වා ඉහළ නැංවීම මුලින් අපේක්ෂා කළ ද, 2025 වසර අවසන් වන විට එය සියයට 16 ඉක්මවා තිබූ බව ඔහු පැවසීය.

අවශ්‍ය රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරාගැනීමෙන් අනතුරුව පවතින බදු ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සලකා බැලිය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

ආයතනික සහ පුද්ගල ආදායම් බදු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිගත් ඔහු, රාජ්‍ය ආදායම් ඉලක්කවලට බාධාවක් වන පරිදි මේ අවස්ථාවේ බදු අනුපාත අඩු කළ නොහැකි බව පැවසීය. කෙසේ වෙතත්, අවශ්‍ය ආදායම් මට්ටම තහවුරු කරගත් පසු වක්‍ර බදු අඩු කිරීමේ හැකියාව ද සලකා බැලිය හැකි බව ඔහු සඳහන් කළේය.

ඉදිරි බදු ප්‍රතිපත්ති සංශෝධන සාධාරණත්වය, සරලත්වය සහ පහසුව යන මූලධර්ම මත පදනම් වනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය ව්‍යවසාය ලෙස වර්ගීකරණය කර ඇති ආයතන 527 අතරින් වාණිජ කටයුතුවල නිරත වන්නේ තෝරාගත් ආයතන කිහිපයක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාන්‍ය වෙළෙඳාම් කටයුතු සහ හෝටල් පවත්වාගෙන යාම වැනි ක්‍රියාකාරකම්වල නිරත වීම වෙනුවට ආර්ථික කටයුතු සඳහා පහසුකම් සැලසීම රජයේ ප්‍රධාන කාර්යභාරය විය යුතු බව ඔහු අවධාරණය කළේය.

ඒ අනුව, ඇතැම් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය කිරීමට හා විවිධාංගීකරණය කිරීමටත්, තවත් ආයතන ඒකාබද්ධ කිරීමටත් සැලසුම් කර තිබේ. බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඇතැම් ආයතන වෙළෙඳපොළේ අනිසි බලපෑම් වැළැක්වීම සඳහා රජයේ මැදිහත්වීම යටතේ පවත්වාගෙන යාම පිළිබඳව ද අවධානය යොමු කෙරේ.

යෝජිත නව රාජ්‍ය ව්‍යවසාය පනත මඟින් මෙම ආයතන පොදු නීතිමය රාමුවක් යටතට ගෙන, වෙළෙඳපොළ තත්ත්වයන් සහ අවදානම් සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීමේ ස්වාධීනත්වය සහිත සමාගම් ලෙස සංස්ථාගත කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. මෙම ක්‍රියාවලිය සඳහා කාලයක් ගතවනු ඇති අතර, අවශ්‍ය නීති සංශෝධන ද ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

තාක්ෂණය පදනම් කරගත්, එක් ස්ථානයකින් ආයෝජන පහසුකම් ලබාගත හැකි ක්‍රමවේදය (Single Window Project) ද අවසන් අදියරට ළඟා වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිගුකාලීනව උද්ධමනය සහ පොලී අනුපාත අඩු මට්ටමකට ගෙන ඒම අත්‍යවශ්‍ය බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මැදපෙරදිග අර්බුදය, ගෝලීය වෙළෙඳ ගැටුම්, ස්වාභාවික ආපදා සහ දේශගුණික විපර්යාස ආර්ථිකයට බලපෑම් කළ හැකි අවදානම් ලෙස පෙන්වා දුන්නේය.

විනිමය අනුපාතය කෘත්‍රිමව පාලනය කිරීම වෙනුවට වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වයට ඉඩ ලබාදීමේ ප්‍රතිපත්තිය රජය අනුගමනය කරන බව ද ඔහු සඳහන් කළේය.

කොටස් වෙළෙඳපොළ තුළ ද සාධාරණත්වය, විනිවිදභාවය සහ මූලික ආර්ථික සාධක මත පදනම් වූ මිල තීරණය වීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය. මිල හැසිරවීම් සහ අභ්‍යන්තර තොරතුරු සඳහා අසමාන ප්‍රවේශය වැනි කරුණු වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය අඩු කිරීමට හේතු විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

සියලු ආයෝජකයන්ට සාධාරණ අවස්ථා සහතික කිරීමත්, පෞද්ගලික අවශ්‍යතා මහජන යහපතට පටහැනි වීම වැළැක්වීමත් රජයේ අරමුණ බව ඔහු අවධාරණය කළේය.

ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ නව වර්ධනයන් ඇති කරමින් විදේශීය ආයෝජන ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා සහ කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දිමුතු අබේසේකර මහතා ද මෙම සංසදයට එක්වෙමින් අදහස් දැක්වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website