මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමෙන් විශේෂ වාර්තාවක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් 2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (28) නිකුත් කළේය.

මෙම වාර්තාව සැකසීමට, මාධ්‍ය වාර්තා, කොමිසම වෙත ලැබුණු සහ කොමිෂන් සභාව රැස් කර ගන්නා ලද තොරතුරු මෙන් ම සටහන් කරගන්නා ලද ප්‍රකාශයන් මූලිකව පදනම කර ගෙන ඇත.

2026 ජූලි මස 05 සහ 06 දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම සහ ඉන් අනතුරුව රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේදී රැඳවියන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුව තිබේ ද යන්න සොයා බැලීමට ස්වයං මෙහෙයවීම් විමර්ශනයක් සිදු කළ බව මානව හිමිකම් කොමිසම  සඳහන් කරයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් හුදෙක් රැඳවියන් අතර ඇති වූ ගැටුමකට පමණක් සීමා නොවන බව කියන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රැඳවියන්ගේ අධික තදබදය, ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම, ‘පාටි’ ලෙස හඳුන්වන රැඳවියන් පරිපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ ක්‍රියාවලිය, ආරක්ෂක හා පරිපාලන පද්ධතිවල දුර්වලතා, මත්ද්‍රව්‍ය හා ඖෂධ වෙත රැඳවියන්ට ප්‍රවේශ වීමට හැකි වීම සහ හදිසි අවස්ථාවකදී ගත යුතු ආරක්ෂක පියවර සම්බන්ධ අඩුපාඩු ඇතුළු කරුණු ගණනාවක් මෙම තත්ත්වය වර්ධනය වීමට බලපා ඇති බව සිය වාර්තාවේ සඳහන් කර ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාව මේ සමඟ නිර්දේශ මාලාවක් ද ඉදිරිපත් කර තිබේ. බන්ධනාගාර පද්ධතියේ පවතින දිගුකාලීන ගැටලු විසඳීම, සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන්ට සහන සැලසීම, රැඳවියන්ට එරෙහි පහරදීම් පිළිබඳ විමර්ශනය කිරීම සහ අනාගතයේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පියවර ගැනීම ඇතුළු නිර්දේශ රැසක් මෙම වාර්තාවේ ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website