රුපියල් මිලියන 454ක කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී රේගු භාරයට

රුපියල් මිලියන 454ක ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 46 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් රේගු භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (28) සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. 

මෙම සැකකරු කටාර් ගුවන් සේවයට අයත් QR 654 දරන ගුවන් යානයෙන් පැරිස් නුවර සිට දෝහා හරහා මෙරටට පැමිණ තිබේ. සැකකරුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී සොයාගත් සැකකටයුතු ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒවා කොකේන් සහ එක්ස්ටසි මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයට කොකේන් ග්‍රෑම් 5,121ක් ඇතුළත් වන අතර, එහි ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 256කි. එමෙන්ම, ග්‍රෑම් 13,173ක බරින් යුත් එක්ස්ටසි මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇති අතර, එය පෙති 23,000කට ආසන්න ප්‍රමාණයකට සමාන වේ. එම තොගයේ ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 198ක් බව රේගුව සඳහන් කරයි. ඒ අනුව, සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත ඇස්තමේන්තුගත වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 454කි.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මූලික විමර්ශන සිදුකරන අතර, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරු, මත්ද්‍රව්‍ය තොගය සහ අනෙකුත් නඩු භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website