ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තය තුළින් ගුණාත්මක රැකියා අවස්ථා වැඩි කළ යුතුයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් ආරම්භ කරනු ලබන හෝටල් හා නිවාඩු නිකේතන කළමනාකරණය පිළිබඳ (ගෞරව) උපාධි පාඨමාලාව නිල වශයෙන් හඳුන්වා දීමේ සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (27) සහභාගී වූවාය.

මෙම උපාධි පාඨමාලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සිසුන් 65 දෙනෙකු ඇතුළත් වේ.

වෘත්තීය පුහුණු ආයතනයක සිට උසස් අධ්‍යාපනික සහ වෘත්තිය පුහුණුව ලබා දෙන ආයතනයක් බවට පත් වෙමින් හෝටල් හා නිවාඩු නිකේතන කළමනාකරණය පිළිබඳ (ගෞරව) උපාධි පාඨමාලාව ආරම්භ කිරීම, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උත්සවයට සහභාගී වෙමින් පැවසුවාය.

සංචාරක කර්මාන්තය ආර්ථික ක්‍රියාකාරකමකට පමණක් සීමා නොවන බවත්, එය සංස්කෘතීන් අතර සබඳතා ගොඩනඟන , ජාත්‍යන්තර සබඳතා වර්ධනය කරන වේදිකාවක් මෙන්ම ශ්‍රී ලාංකික පවුල් දහස් ගණනකට ජීවනෝපාය හා නව අවස්ථා උදාකර දෙන ක්ෂේත්‍රයක් ද වන බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තය තුළින් ගුණාත්මක රැකියා අවස්ථා උත්පාදනය විය යුතු බවත්, දේශීය ව්‍යවසායන්ට සහාය ලබාදිය යුතු බවත්, තරුණ පරපුර සවිබල ගැන්විය යුතු බවත්, කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කළ යුතු බවත් අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සියලු දෙනාට ළඟා වන බව සහතික කළ යුතු බව ද පෙන්වා දුන්නාය.

2030 වසර වන විට සංචාරක ක්ෂේත්‍රය තුළින් රජය ළඟා කරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය හා ආයෝජන පමණක් ප්‍රමාණවත් නොවන බව සඳහන් කළාය. ඒ සඳහා නිපුණතාවලින් යුත් ශ්‍රම බලකායක්, ශක්තිමත් ආයතනික පද්ධතියක්, නවෝත්පාදන අවස්ථා සහ වඟවීමක් අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

සංචාරක කර්මාන්තය තුළ කාන්තා සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමිය, එම ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට සක්‍රීයව දායක වීමටත්, එහි ප්‍රතිලාභ භුක්ති විඳීමටත් අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

හෝටල් හා නිවාඩු නිකේතන කළමනාකරණ (ගෞරව) උපාධි පාඨමාලාව හඳුන්වා දීම, වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා වන වැදගත් පියවරක් වන අතර, ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අනාගත වර්ධනයට අවශ්‍ය වන මානව සම්පත සංවර්ධනය කිරීමට ද එය දායක වනු ඇත.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ නිලධාරීන්, ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන්, සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නියෝජිතයන්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ මෙම උපාධි පාඨමාලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසු සිසුවියෝ සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website