
හැරී බෘෘක්ගේ වාර්තාගත ද්විත්ව ශතකය අපතේ යවමින් එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම ලකුණු හඹා යාම සාර්ථක කරගත් ශ්රී ලංකාව, රාවල්පිණ්ඩිහිදී පැවැති තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු 2 ක විශිෂ්ට ජයක් අද (22 දා) රාත්රියේ වාර්තා කළේය. එංගලන්තය කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු 429ට පිළිතුරු ලෙස ශ්රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 430ක් රැස් කළේ තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දුවක් ඉතිරිව තිබියදීය.
මෙම දැවැන්ත ලකුණු හඹා යාමේදී පවන් රත්නායක ලකුණු 130ක් රැස් කරමින් ශ්රී ලංකා ඉනිමේ ප්රධානතම ශක්තිය බවට පත්වූ අතර, අවිශ්ක ප්රනාන්දු සහ දසුන් ශානක ලකුණු 97 බැගින් රැස් කළහ. තරගයේ අවසන් මොහොතේදී පන්දු 27කින් නොදැවී ලකුණු 61ක් රැස් කළ ජනිත් ලියනගේගේ ප්රවේගකාරී පිතිහරඹය ශ්රී ලංකාවට ජයග්රහණය හිමිකර දුන්නේය.
ලකුණු 430ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්රී ලංකාවට ආරම්භයේදීම දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවිය. ලකුණු 24ක් වන විට කඩුලු දෙකක් බිඳ වැටුණු අතර, නායක කුසල් මෙන්ඩිස්ට කිසිදු පන්දුවකට මුහුණ නොදී දුවද්දී දැවී යාමකට හසුව පිටියෙන් ඉවත් වීමට සිදුවිය. එහෙත් එම අසීරු ආරම්භයෙන් අනතුරුව ඉනිම ගොඩනැඟූ ශ්රී ලංකා පිතිකරුවෝ එංගලන්ත පන්දු යවන්නන්ට ප්රබල අභියෝගයක් එල්ල කළහ.
පවන් රත්නායකගේ ලකුණු 130ක ඉනිම ශ්රී ලංකා ලකුණු හඹා යාමේ හැරවුම් ලක්ෂ්යය බවට පත්විය. අවිශ්ක ප්රනාන්දු සමඟ එක්ව ඉනිම ශක්තිමත් කළ ඔහු, ශ්රී ලංකාවට ජයග්රහණය පිළිබඳ බලාපොරොත්තු ඇති කිරීමට සමත් විය. අවිශ්ක ලකුණු 97ක් ලබා සිටියදී ශතකය පෙනෙන මානයේදී දැවී ගිය ද, ඔහුගේ ඉනිම ශ්රී ලංකාවේ සාර්ථක ලකුණු හඹා යාමට අතිශය වැදගත් විය.
අනතුරුව පිටියට පිවිසි දසුන් ශානක ද ලකුණු 97ක් රැස් කරමින් ශ්රී ලංකා ජයග්රහණය සඳහා වූ ගමන තවදුරටත් ශක්තිමත් කළේය. එහෙත් තරගයේ අවසන් භාගයේදී එංගලන්ත පන්දු යවන්නන් යළිත් තරගයට අවතීර්ණ වීමත් සමඟ ශ්රී ලංකාවට ජයග්රහණය සඳහා අවසන් පන්දුවාරවලදී දැඩි සටනක නිරත වීමට සිදුවිය.
ජොෂ් ටංග් පිට පිට පන්දු දෙකකදී දුනිත් වෙල්ලාලගේ සහ එෂාන් මාලිංග දවා ගැනීමෙන් එංගලන්තයට යළිත් ජයග්රහණයේ බලාපොරොත්තු ඇති කළේය. එම අවස්ථාවේදී ශ්රී ලංකාවට අවසන් පන්දු දෙකේදී ලකුණු 6ක් අවශ්ය විය. අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි අසිත ප්රනාන්දු, ජනිත් ලියනගේට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නේය. අනතුරුව ටංග්ගේ පන්දුවක් ලෝන්ග්-ඕෆ් කලාපයට ඉහළින් හයේ පහරක් ලෙස යොමු කළ ලියනගේ ශ්රී ලංකාවේ ඓතිහාසික ජයග්රහණය තහවුරු කළේය.
ශ්රී ලංකාව ලකුණු 24කට කඩුලු 2ක් බිඳ වැටී තිබූ අසීරු තත්ත්වයක සිට ජයග්රහණය කරා පැමිණීම මෙම තරගයේ කැපී පෙනෙනම සිදුවීමක් විය. තරගයේදී කණ්ඩායම් දෙකම එක්ව ලකුණු 859ක් රැස් කිරීම ද මෙම එක්දින තරගය ඉහළ ලකුණු සංඛ්යාවකින් සමන්විත අමතක නොවන තරගයක් බවට පත් කළේය.
එංගලන්ත ඉනිමේදී නායක හැරී බෘක් පන්දු 114කින් ලකුණු 200ක් රැස් කළේය. ඒ සමඟින් එක්දින ජාත්යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා බවට පත් වූ ඔහු, එම ආකෘතියේ වේගවත්ම ද්විත්ව ශතකය ද වාර්තා කළේය. මීට පෙර ශුබ්මන් ගිල් සතු වූ වේගවත්ම එක්දින ද්විත්ව ශතකයේ වාර්තාව බිඳ දැමූ බෘක්, ජෝ රූට් සමඟ ලකුණු 159ක සබඳතාවක් සහ විල් ජැක්ස් සමඟ ලකුණු 185ක සබඳතාවක් ගොඩනැඟීය.
බෘක්ගේ ද්විත්ව ශතකය හේතුවෙන් එංගලන්තය ලකුණු 429ක් දක්වා ඉහළ ගිය ද, ශ්රී ලංකා පිතිකරුවන්ගේ විශිෂ්ට සාමූහික දක්ෂතාව හමුවේ එම දැවැන්ත ලකුණු සංඛ්යාව ආරක්ෂා කර ගැනීමට එංගලන්තයට නොහැකි විය.
එංගලන්තය පන්දුවාර 50 කදී කඩුලු 4ක් දැවී ලකුණු 429යි – හැරී බෘක් 200, ජෝ රූට් 69, විල් ජැක්ස් 66, ටොම් බැන්ටන් 50, බෙන් ඩකට් 29, දුනිත් වෙල්ලාලගේ 56/2, අසිත ප්රනාන්දු 68/1, ජනිත් ලියනගේ 32/1
ශ්රී ලංකාව පන්දුවාර 49.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 430 යි – පවන් රත්නායක 130, අවිශ්ක ප්රනාන්දු 97, දසුන් ශානක 97, ජනිත් ලියනගේ 61*, කමිඳු මෙන්ඩිස් 18, කුසල් මෙන්ඩිස් 00, සහන් ආරච්චිගේ 13, දුනිත් වෙල්ලාලගේ 08, එෂාන් මාලිංග 00, අසිත ප්රනාන්දු 01*, ජොෂ් ටංග් 79/3, සෑම් කරන් 103/2, ලියම් ඩෝසන් 71/1, ජෙමී ඕවර්ටන් 77/1
source: srilanka cricket .lk















