ඊයේ (17) දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස අක්රීය කරනු ලැබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය දින කිහිපයක් යන තෙක් පද්ධතියට සම්බන්ධ නොකරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ මුහුණ දෙන සාමාන්ය ආරක්ෂක ක්රමවේදවලට යොමුවී ඇති බැවින් දින කිහිපයක් යන තෙක් බලාගාරය පද්ධතියට නැවත සම්බන්ධ නොකරන බවයි.
නොරොච්චෝලේ බලාගාරය අක්රිය කිරීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 810ක ධාරිතාවක් අහිමි වේ මෙම පසුබිම තුළ ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්රියාකරු ලෙස කටයුතු සම්පාදනය කර ඇති බවද අදාළ සමාගම සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි ජනනය උපරිම අගයක පවත්වා ගැනීමට හැකි වීමත් පද්ධතියේ ඉල්ලුම සාපේක්ෂව අඩුවීමට ඇති ප්රවණතාවයන් නිසා ඉදිරි දින කිහිපයේදී පාරිභෝගික ජනතාවට අවම බලපෑමක් වන ලෙස විදුලි සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සැපයීමට ජාතික පද්ධති ක්රියාකරු අපේක්ෂා කරන බව ද එම සමාගම පෙන්වා දී තිබේ.














