ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ දේපළ කළමනාකරණ හා තක්සේරුකරණ උපාධිය හිමි උපාධිධාරීන් 99 දෙනෙකු සඳහා වන නව පත්වීම් ලිපි ප්රදානය කිරීම අද පෙරවරුවේ කොළඹ තැපැල් මූලස්ථාන ශ්රවණාගාරයේදී කම්කරු අමාත්ය සහ මුදල්, ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
අමාත්යවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත් මෙම නව නිලධාරීන් රාජ්ය සේවයට ඇතුළත් වන්නේ ව්යවස්ථාපිත හා ව්යවස්ථාපිත නොවන කාර්යයන් සඳහා වන තක්සේරු කටයුතු වෙනුවෙන් තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා නිල තක්සේරු වාර්තා පිළියෙළ කිරීම ආදී සේවාවන් ඉටු කිරීම සඳහා ය.
ඊට අමතරව රාජ්ය හා පළාත් සභා, පළාත් පාලන ආයතන, ව්යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්ය අනුබද්ධ ආයතන සඳහා තක්සේරු කිරීම් සිදුකිරීම සහ දේපල කළමනාකරණය පිළිබඳ උපදෙස් සැපයීමද මොවුන් විසින් සිදු කරනු ලබයි. පසුගිය වර්ෂයේදී 121 දෙනෙකු සහ මේ වර්ෂයේදී 99 දෙනෙකු බඳවා ගැනීම තුළින් දෙපාර්තමේන්තුවේ පැවැති සියලුම සහකාර තක්සේරුකරු පුරප්පාඩු සපුරා ඇති බව රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පවසයි.
උත්සව සභාව ඇමතූ අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත මහතා නවක සහකාර තක්සේරුකරුවන් ලෙස පත්වීම් ලද නිලධාරීන් සහ නිලධාරිනියන් වෙත සිය සුභාශිංසන එක්කළ අතර, තක්සේරුකරණය රටේ සංවර්ධන කටයුතු සඳහා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරන බව මෙහිදී පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ පළමු අභියෝගය වූ ආර්ථිකය ස්ථාවර කිරීම මේ වනවිට සාර්ථකව සිදුකර ඇති බවත්, දැනට පවතින අභියෝගය ආර්ථිකයේ පරිවර්තනීය හැරවුමක් සිදු කිරීම බවත් අමාත්යවරයා සඳහන් කළේය.
එසේම, දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද්ධය යන බාහිර කම්පන දෙක හමුවේ මෙම ස්ථාවරත්වය අත්පත් කරගත් බව සිහිපත් කළ අමාත්යවරයා, තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන ජාත්යන්තර මූල්ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවේදී ශ්රී ලංකාව ඉතා කෙටි කාලයකදී බාහිර කම්පන දෙකකට මුහුණ දෙමින් ආර්ථික ස්ථාවරත්වයට පත්වූ විශේෂ අවස්ථාවක් ලෙස ඇගයීමට ලක්වූ බවද මතක් කර සිටියේය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ, වෘත්තීය සමිතිවල පවා ඉල්ලීමක් නොමැතිව රාජ්ය සේවක වැටුප් ඉහළ දැමීමට කටයුතු කළ බවත් එය අදියර තුනක් ඔස්සේ ක්රියාත්මක කළ බවත් අමාත්යවරයා සඳහන් කළේය. එහි මීළඟ වැටුප් වැඩිවීම අද දින පත්වීම් ලබන සහකාර තක්සේරු නිලධාරීන්ට 2027 වසරේදී හිමිවන බව පෙන්වා දුන් අමාත්යවරයා, රටේ ආර්ථිකය පරිවර්තනීය යුගයක් දක්වා යොමු කිරීමේ කාර්යය සඳහා නවක නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් යොදවන ලෙස ඉල්ලා සිටියේය.
මේ අවස්ථාව සඳහා මුදල් අමාත්යාංශයේ භාන්ඩාගාර නියෝජ්ය ලේකම් ඒ.එන්. හපුගල, අතිරේක ලේකම් ඩී.එච්.එස්. පුල්ලපෙරුම, රජයේ තක්සේරු දෙපාර්තමේන්තු ප්රධානී ප්රධාන තක්සේරුකරු ඒ.එස්.ඩබ්.කේ. නානායක්කාර, අතිරේක ප්රධාන තක්සේරුකරු ක්රිස්ටීන් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.













