අසාධ්‍ය තත්ත්වයේ සිටින කාවන්තිස්සට සැබෑවට ආදරේ නම් ජනතාව කළ යුතු දේ පරිසර ඇමැති කියයි

කාවන්තිස්ස ඇතාගේ ප්‍රතිකාරවලට බාධා නොවන ලෙස නිහඬ පරිසරයක් සුරැකීමට සහාය වන ලෙස පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා ඉල්ලා සිටී.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්‍ය කණ්ඩායම් මේ වන විටත් පැය විසිහතර පුරා දැඩි වෙහෙසක් දරමින් සිටින බව සඳහන් කළ පරිසර අමාත්‍යවරයා සේලයින් සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙමින්, ඇතුගේ කායික ස්ථාවරත්වය ඇති කිරීමට අවශ්‍ය සියලු විද්‍යාත්මක ක්‍රමවේද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද කීවේය.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබන භූමිය අවට මිනිසුන් එක්රැස් වීම ඇතා දැඩි මානසික ආතතියකට ලක් කිරීමටත්, වෛද්‍ය කණ්ඩායමේ සංවේදී ප්‍රතිකාර කටයුතුවලට බාධා ඇති වීමටත් සෘජුව හේතු වී ඇත. වනජීවී පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි, මෙවැනි සංකීර්ණ අවස්ථාවකදී සත්ත්වයාගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය සහ ප්‍රතිචාර යථා තත්ත්වයට පත් කරගැනීමට නම් බාහිර ශබ්දවලින් තොර, නිහඬ සහ සන්සුන් පරිසරයක් පැවතීම අනිවාර්ය සාධකයක් බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව ප්‍රතිකාර කලාපය තුළට අනවශ්‍ය ලෙස ඇතුළු වීමෙන් හා එම භූමිය අවට රොක් වීමෙන් වළකින ලෙසත්,  ශබ්ද නැගීම හෝ ඩ්‍රෝන (Drone) කැමරා භාවිතයෙන්  වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා වෛද්‍යවරුන්ට තම වෘත්තීය මෙහෙවර නිදහසේ ඉටු කිරීමට ඉඩ සලසන ලෙස ඉල්ලා සිටී.

“කාවන්තිස්ස කෙරෙහි ඔබේ හදවතේ ඇති අවංක ආදරය හා කරුණාව ප්‍රකාශ කළ හැකි හොඳම ක්‍රමය වන්නේ, ඔහුට අවශ්‍ය සන්සුන් පරිසරය ලබා දී වෛද්‍ය කණ්ඩායමට සහාය දැක්වීමයි” අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website