සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් පිහිටුවන ලද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) විසින් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකටම අවම වශයෙන් එක් ව්‍යවසායකයකු බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘ව්‍යවසායකයින් 14014 මෙහෙයුම් ක්‍රියාන්විතය’ අද(13) දින කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටියේදී ආරම්භ විය.
මෙහිදී උත්සව සභාව ඇමතූ අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ ව්‍යවසාය ඉලක්ක කරගත් ස්ථානයකට මුදල් යොමු කිරීම ආර්ථික වර්ධනය වේගවත් කරන නිසා ආණ්ඩුවේ උත්සාහයද නව ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා මුදල් වෙන් කිරීම බවයි. එසේම මෙම වැඩසටහන යටතේ හුදෙක් ණය ලබාදීම පමණක් සිදු නොකර ව්‍යවසායකයා ගොඩනැගීමේ කාර්යය, ඔවුන්ට දැනුම ලබාදීම සහ වෙළඳපොල සොයාදීම යන කාර්යයන් සඳහාද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහය ලබාදීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදි.
ආණ්ඩුව වශයෙන් ව්‍යවසායකයන් සඳහා පහසුකම් සැපයීම මෙන්ම ව්‍යවසායකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු වෙත උපදෙස් ලබාදීම ආණ්ඩුව විසින් සිදුකරන බවත් ව්‍යාපාර කටයුතු සඳහා අල්ලස් ලබාදීමේ යුගය දැන් අවසන්ව ඇති බවත් අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.
ආණ්ඩුවේ වගකීම මූල්‍ය විනය ආරක්ෂා කරගැනීම වන අතර, එසේම මූල්‍ය විනය ආරක්ෂා කරගැනීම නිසා මේ වනවිට ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත්භාවයේ සිට කෙටි කලකින් ස්ථාවරත්වය අත්පත් කරගෙන ඇති රටක් බවට සිය වාර්තා මගින් පෙන්වා දී ඇති බවත් අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කරන ලදි.
අභිනවයෙන් ආරම්භ කරනු ලබන ‘ව්‍යවසායකයින් 14014 මෙහෙයුම් ක්‍රියාන්විතය’ ප්‍රධාන අංශ 06ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. ‘ධීවර දිරිය‘ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘කෘෂි නවෝදය‘ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘ක්ෂීර විප්ලවය‘ පශු සම්පත් සංවර්ධනය, ‘ලියසවිය‘ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘හෙට ඔබට‘ තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සහ ‘ප්‍රභාතය‘ උතුරු ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන එම අංශ 06යි.
අද(13) දින පැවති සමාරම්භක අවස්ථාවේදී සංකේතාත්මකව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් සඳහා අමාත්‍ය ආචර්ය අනිල් ජයන්ත මහතා අතින් ඔවුන් සුදුසුකම් ලැබූ ණය මුදල්වලට අදාළ චෙක්පත් ලබාදීමද සිදුවිය.
















