රු. 100ක පානීය ජල බෝතලයක් රු. 300කට අලෙවි කළ දඹුල්ල සංචාරක හෝටලයකට රු. ලක්ෂ 5ක දඩයක්

බෝතල් කළ පානීය ජලය වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් 2025 ජනවාරි මස මුල් භාගයේදී (2025.01.02 දිනට ආසන්නව) දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදුකළ වැටලීමකට අදාළ නඩුවක් සදහා රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබේ.

සිගිරිය කින්ඩම් රිසෝට් (ප්‍රයිවෙට්) ලිමිටඩ් (Sigiriya Kingdom Resort (Pvt) Ltd), රත්මල්ගහ ඇළ පාර, විහාර හන්දිය, දඹුල්ල යන ආයතනයේදී රු.100/-ක මිලක් සඳහන් පානීය ජල බෝතලයක් රු.300/-කට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

අදාළ නඩුව 2026 සැප්තැම්බර් 23 දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ආයතනය චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු.500,000/-ක (රුපියල් ලක්ෂ පහක) දඩයක් නියම කරන ලදී.

පාරිභෝගිකයින් සහ වෙළෙඳුන්ගේ විශේෂ අවධානයට: මෙම නඩුවේ සඳහන් රු.100/-ක මිල වර්තමානයේ පානීය ජල බෝතල් සඳහා පවතින උපරිම සිල්ලර මිල නොවේ.

දැනට ක්‍රියාත්මක 2026.06.10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 96 දරන නියෝගය අනුව, දේශීයව ඇසුරුම් කරන ලද බෝතල් කළ පානීය ජලය සඳහා වර්තමාන උපරිම සිල්ලර මිල ගණන් 500ml–999ml රු.80/-, 1L–1.499L රු.120/-, 1.5L–1.999L රු.150/-, 2L–2.499L රු.180/- සහ 5L–6.999L රු.400/- වේ.

ඒ අනුව ලීටර් 1 සිට ලීටර් 1.499 දක්වා පානීය ජල බෝතලයක් සඳහා දැනට පවතින උපරිම සිල්ලර මිල රු.120/-කි.

පාරිභෝගිකයිනි, හෝටලයකින්, නිකේතනයකින්, ආපනශාලාවකින් හෝ වෙළෙඳසැලකින් බෝතල් කළ පානීය ජලය මිලදී ගැනීමේදී බෝතලයේ ප්‍රමාණයට අදාළ වත්මන් උපරිම සිල්ලර මිල (MRP) පරීක්ෂා කර බිල්පතක් ලබාගන්න.

හෝටල්, නිකේතන, ආපනශාලා සහ වෙළෙඳසැල් හිමියනි, උපරිම සිල්ලර මිල නියම කර ඇති භාණ්ඩ එම මිල ඉක්මවා අලෙවි කිරීමෙන් වළකින්න.

වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website