පාසල් සිසුන් සීට් බෙල්ට් පැළඳ නොසිටියා නම් බරපතළ තුවාල: ගැලනිගම – දොඩන්ගොඩ අනතුර පුර්වාදර්ශයක් කර ගනිමු !

ඔහු වැඩි දුරටත් පැවසුවේ පාසල් බස් රථයේ සිටි සිසුන් සහ අනතුරට පත් සෙසු මෝටර් රථවල ගමන් කළ පුද්ගලයින් ආසන පටි පැළඳ නොසිටියේ නම් සුළු තුවාල නොව බරපතළ තුවාල ලැබීමට ඉඩ තිබූ බවයි. මේ තත්ත්වය තුළ සීට් බේල්ට් නීතිය ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන එකක් බවට මෙම අනතුරු පූර්වාදර්ශයක් ලෙස සලකන මෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ සිදු වූ මෙම අනතුර සහ ඊට අදාළ පසුබිම් සාධක වැඩි දුරටත් පැහැදිලි කරමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මෙසේ ද පැවසුවේය.

“ගාල්ල දෙස සිට කොළඹ දෙසට ඉතා වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් බ්‍රේක් කරන විට කරකිලා ගිහිල්ලා වම් පැත්තේ වැටේ වදිනවා. ඒ කැබ් රථයට පිටුපසින් පැමිණි පාසල් බස් රථයක් කැබ් රථයේ දකුණු පස වදිනවා. මේ සමඟ ඊට පිටුපසින් අකුරැස්ස – කොළඹ බස් එකක් එනවා. බස් එක බ්‍රේක් කරන කොට ඊට පිටුපසින් පැමිණි මෝටර් රථ එකිනෙක ගැටිලා බරපතළ අනතුරක් සිදුවෙනවා. විශේෂයෙන් කාර් රථ හතරක් එකිනෙක ගැටීම නිසා බරපතළ ලෙස අනතුරට ලක්වෙනවා. තවත් කාර් තුනකට එකිනෙක ගැටීම නිසා සුළු අලාභ වෙනවා. වාහන 11ක් අනතුරට ලක්වෙනවා.

මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙක් රෝහල් ගත කිරීමට සිදු වුණා. ඒ අතර සුළු තුවාල ලැබූ පාසල් ළමුන් 08 දෙනෙක් සිටිනවා. එක් කාන්තාවක් ශල්‍යකර්මයකට ලක්කරලා තිබෙනවා. ඇයට බරපතළ තත්ත්වයක් නැහැ.

මේ දවස්වල වැසි තත්ත්වය නිසා මාර්ගය ලිස්සනවා. ඒ නිසා පොලිසිය පැහැදිලිව කිව්වා අධිවේගී මාර්ගවල සහ සෙසු මාර්ග වලත් වේගයෙන් ගමන් කරන්න එපා කියලා. මේ අනතුරට හේතුව වුණේ ඉදිරියෙන් ගමන් කළ කැබ් රථ රියැදුරු ඉතා වේගයෙන් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් යන වාහනයකට බ්‍රේක් කළා. නමුත් ඔහු පැමිණි අධික වේගය නිසා කැබ් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් වැටේ වැදුණා.

අපි නැවත නැවත අවධාරණය කරනවා මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය නිසා තමන්ට පාලනය කරගත නොහැකි වේගයෙන් වාහන ධාවනය කරන්න එපා කියලා. මේ අනතුරු ඒකට පැහැදිලි සාක්ෂියක්.

අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය අපි පසුගිය 20 වැනිදා සිට තදින්ම ක්‍රියාත්මක කළා. මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී සීට් බෙල්ට් නැති වාහන ගණනාවක් ආපසු හරහා යැවීමටත් සිදු වුණා.  බස් රථයේ ගමන් කළ සියලුම පාසල් සිසුන් සීට් බෙල්ට් පැළඳ ගෙන සිටි නිසා තමයි ඔවුන් සුළු තුවාල ලබා බේරුණේ. එසේම අනතුරට පත් අනෙක් වාහන වලත් සුළු තුවාල ලබන තත්ත්වයට පත් වුණේ ඔවුන් සීට් බෙල්ට් දමා ගෙන සිටි නිසයි. රජය සීට් බෙල්ට් නීතිය දැඩිව ක්‍රියාත්මක කළේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව මේ අනතුරෙන් පැහැදිලිව තහවුරු වෙනවා.

අපි විශේෂයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කරන රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල පවතින වැසි තත්ත්වය නිසා පැයට කිලෝ මීටර් 100ට වඩා වේගයෙන් ගමන් කරන්න එපා. අපි දෛනිකව අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ 100කට වඩා අත්අඩංගුවට ගන්නවා. පැයට කිලෝ මීටර් 120ට වඩා වේගයෙන් ධාවනය කරන ඒවා අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ නිසා පසුගිය දා සිදු වූ අනතුරු පූර්වාදර්ශයක් ලෙස සලකන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

යතුරුපැදිකරුවන්ටත් මේ කතාවම අදාළ වෙනවා. අපි පැහැදිලිව කියන්නේ වර්ෂාව සහ අඳුරු තත්ත්වයක් තිබෙනවා නම් යතුරුපැදිය ධාවනය කරන විට හෙඩ්ල යිට්ස් දල්වා ගෙන යන්න. මීදුම් තත්ත්වයක් තිබෙනවා නම් ෆොක් ලයිට්ස් පත්තු කරගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website