
වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඇතැම් ළදරු ඩයපර්ස් භාවිත කිරීමේදී දිරාපත්ව ඉරී යන බවට පාරිභෝගික ජනතාවගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් ඔස්සේ විමර්ශන නිලධාරීන් විසින් පසු විපරම් විමර්ශන හා වැටලීම් සිදුකරන ලදී.
එහිදී ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර විධාන අංක 85 උල්ලංඝනය කරමින් ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් අලෙවිය සඳහා තබා තිබීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ස්ථාන 05කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලදී.
අධිකරණයට ඉදිරිපත් කළ ඩයපර්ස් තොගය අතර, ළදරු ඩයපර්ස් සහ Baby Pants විවිධ ප්‍රමාණවලින් ඇසුරුම් 81ක් සහ වැඩිහිටි ආරක්ෂිත ඩයපර්ස් ඇසුරුම් 06ක් ඇතුළත් වූ අතර, ඒ අනුව සඳහන් කර ඇති නඩු භාණ්ඩවල එකතුව අවම වශයෙන් ඇසුරුම් 87ක් වේ.
2026 සැප්තැම්බර් 16 දින අදාළ නඩු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් චෝදනාවලට වරද පිළිගත් අතර, Baby Voice – පිටකොටුව වෙත රු.10,000/-, Seema Cutpiece – මල්වාන වෙත රු.10,000/-, Colombo Diapers – කොළඹ 12 වෙත රු.10,000/-, Kanishka International Trade – පිටකොටුව වෙත රු.10,000/- සහ Eye Care (Pvt) Ltd – කලගෙඩිහේන වෙත රු.100,000/- බැගින් දඩ නියම කරන ලදී.

ඒ අනුව ව්‍යාපාරික ස්ථාන 05 සම්බන්ධයෙන් නියම වූ සමස්ත දඩ මුදල රු.140,000/- ක් වන අතර, නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ සම්පූර්ණ ඩයපර්ස් තොගය විනාශ කිරීමටද අධිකරණය නියෝග කරන ලදී.
පාරිභෝගික ඔබගේ අවධානයට: ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා භාවිත කරන ඩයපර්ස් වැනි සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු ඇතුළු අදාළ ලේබල් තොරතුරු හොඳින් පරීක්ෂා කරන්න. භාවිතයේදී අසාමාන්‍ය ලෙස දිරාපත්වීම, ඉරී යාම හෝ වෙනත් ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු නිරීක්ෂණය වුවහොත් අදාළ ඇසුරුම හා බිල්පත හැකි නම් සුරක්ෂිතව තබාගෙන පැමිණිලි කරන්න.
මෙවැනි අක්‍රමිකතා පිළිබඳව 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
















