දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (Advance Personal Income Tax – APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් ඔවුන්ගේ වේතනය සඳහා ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බවත්, එම වේතනයෙන් APIT අඩු කිරීමට බලධාරීන්ට අයිතියක් ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
දේශීය ආායම් දෙපාර්තමේන්තුවේ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමය, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය විසින් ගොනුකළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුවට එළඹ ඇත.













