ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බැලිණි.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී තිබේ. කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා මෙම පනත 2009 වසරේදී සම්මත කර තිබේ.

එහෙත් මෙරට දැනට පවතින තත්ත්වය සලකා බලා ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය සඳහා විශේෂිත වූ කාර්යාලයක් හෝ තනතුරක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් පවත්නා ත්‍රිවිධ හමුදා ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ එම සම්බන්ධීකරණය ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදු කරනු ලබයි. එසේම මෙරට ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී එම කාර්යාලයේ කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් රජයට සිදුවන වැය බර අඩු කිරීමට හැකියාවක් පවතින බව ද නිරීක්ෂණය විී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී සැප්තැම්බර් 9 දින විවාදයට ගැනීමට (දෙවැනි වර කියවීමේ) නියමිතව ඇති මෙම පනත් කෙටුම්පත සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website