‘InSA’ ව්‍යාපෘතිය සම්බන්ධව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

විදේශ රැකියා සඳහා විගමනය වන ශ්‍රමිකයන්ගේ පවුල්වල සුබසාධනය සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත “ඉන්සා” (InSA – Integrated Systematic Approach for the Family Development of Migrant Workers) ව්‍යාපෘතිය පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා පැවති කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ 2026 ඔක්තෝබර් 01 වැනිදා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.

විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයන්ගේ පවුල්වල දිගුකාලීන මූල්‍ය කළමනාකරණය, ළමා සෞඛ්‍ය හා ආරක්ෂාව, රැකියා පුහුණුව සහ කුඩා ව්‍යාපාර හා අපනයන සංවර්ධනය යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව සඳහන් විය.

විශේෂයෙන්ම, වයස අවුරුදු 2ත් 18ත් අතර දරුවන් සිටින මව්වරුන් විදේශගත වීමේදී, ඔවුන් විදේශගතව සිටින කාලය තුළ දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ අධ්‍යාපනය පිළිබඳ විධිමත් සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව කාරක සභාවේදී අවධාරණය කෙරිණි. එමෙන්ම, වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන් සම්බන්ධයෙන් පවතින නීතිමය හා පරිපාලන ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.

මේ සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනීමට නියමිත අතර, විදේශගත වීමට පෙර, විදේශගතව සිටින කාලය තුළ සහ නැවත මෙරටට පැමිණීමෙන් පසු යන අවස්ථා තුනේදීම දරුවන්ගේ ආරක්ෂාව හා පවුල් සුබසාධනය සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව, දරුවන් සඳහා සකස් කරන විකල්ප රැකවරණ සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන්න තහවුරු කිරීම, අවදානම් තත්ත්වයන් හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී විශේෂ රැකවරණ සැලසුම් සකස් කිරීම සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් මැදිහත් වන බව සඳහන් විය. විදේශගතව සිට නැවත පැමිණෙන පවුල් සඳහා පවුල් සබඳතා ශක්තිමත් කිරීම ඇතුළු මනෝසමාජීය සහයෝගය ලබාදීම කෙරෙහිද අවධානය යොමු කර ඇත.

එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් “ඉන්සා කමිටු” (InSA) පිහිටුවීමට නියමිත අතර, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, මුල් ළමා සංවර්ධන නිලධාරීන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව කටයුතු කිරීමට නියමිත බව කාරක සභාවේදී සඳහන් විය.

ළමා ආරක්ෂාව සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) සකස් කිරීමටද යෝජනා වී ඇති බව මෙහිදී අනාවරණය විය.

තවද, විදේශ රැකියා සඳහා යන සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමේ වැදගත්කමද කාරක සභාවේදී අවධාරණය කෙරිණි. සංචාරක වීසා ඇතුළු අවිධිමත් මාර්ග ඔස්සේ විදේශගත වන පුද්ගලයන් පිළිබඳ නිල දත්ත නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල් සඳහා සුබසාධන හා ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතුවිය හැකි බැවින්, විදේශගත වන ශ්‍රමිකයන් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය විය.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රගතිය අධීක්ෂණය කිරීමට නියමිත අතර, “ඉන්සා” (InSA) ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2027 පෙබරවාරි මාසය වන විට කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website