බස් රථ නැවතුම් ස්ථානවල (Bus Stopping Place) වෙනත් වාහන නවතා අවහිර කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කරමින් පොලිසිය විසින් අද (15) විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.
පොදු මගී ප්‍රවාහන බස් රථ නවතා මගීන් නැංවීම හා බැස්සවීමේ කාර්ය සඳහා ඉදිකර තිබෙන බස් රථ නැවතුම් ස්ථානවල (Bus Stopping Place) බොහෝ අවස්ථාවලදී වෙනත් වාහන නවත්වා තැබීම හේතුවෙන් එම බස් රථ මාර්ගයේ නැවැත්වීමට බස් රථ රියැදුරන් හට සිදුවේ. ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන තදබදයක්ද නිර්මාණය වීම සිදු වන අතර මගීන්ගේ ජීවිත අවදානමටද ලක් වන බවද නිරීක්ෂණය වේ.
මේ වන විට ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කිරීමට හැකියාව පවතින බස් රථ සේවාවක්ද හඳුන්වා දී තිබෙන බැවින් බස් රථ නැවතුම් ස්ථාන වල එම බස්රථ නැවැත්වීමට හැකි පරිදි අවහිරතාවයන්ගෙන් තොරව පැවතිය යුතුවේ. වෙනත් වාහන නවතා අවහිර කර ඇති විට ආබාධිත පුද්ගලයින්ට මෙන්ම මගීන්ටද බස් රථ වලට නැගීමේදි හා බැසීමේදි අනතුරුදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදු වනු ඇත.
මේ සම්බන්ධව රජයේ අති විශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර ඇති අතර බස් රථ නැවතුම් ස්ථානයට ළඟා වීමට මීටර් 30 ක් ඇතුළත හා පිටවන මීටර් 15 ක් ඇතුළත වාහන නවතා තැබීම එම ගැසට් පත්‍රය මඟින් තහනම් කර ඇත. එම ගැසට් පත්‍රය මඟින් බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම් ස්ථානයට ලඟාවෙන පැත්තෙන් මීටර් 15 ක් ද, පිටවීමේ දෙසින් මීටර් 10 ක්ද ඇතුලත අනෙකුත් වාහන නතර කර තැබීම තහනම් කර ඇත.
ශ්‍රී ලංකා පොලිසියද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර මගී ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුනට බස් රථ වලට නැගීමට හා බැසීමට හැකියාව ලැබෙන පරිදි බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තබන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු පොලිස් ස්ථානයන් දැනුවත් කර ඇත.
AI තාක්ෂණයෙන් ජනනය කළ ඡායාරූපයකි – සංස්කාරක












