මීගමුව බන්ධනාගාර ගැටුම සැලසුම් සහගතව නිර්මාණය කළ එකක් – නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු

ජූලි 5 වන දින මීගමුව බන්ධනාගාරයෙන් පිටත පොලිසිය සූදානම්ව සිටි නමුත් ඒ වන විට බන්ධනාගාර පරිපාලනයෙන් විධිමත් ඉල්ලීමක් කර නොතිබූ බැවින් පොලිසිය බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු නොවූ බව නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පැවසුවේය.

ඊයේ (07) දෙරණ රූපවාහිනියේ Big Focus වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව හෙළි කළේය.

මෙම සිදුවීම කිසිසේත් අහඹු සිදුවීමක් ලෙස තමා නොසලකන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා කළ යුතු දේ ගැන රැඳවියන් දැන සිටි බව ද කීවේය.

“බන්ධනාගාරයේ සීසීටීවී පද්ධතිය මුලින්ම වාගේ විනාශ කරලා තිබෙනවා. නමුත් එහි පටිගත වුණ දර්ශන අපි නැවත රිකවර් කරලා තිබෙනවා. ඊට පස්සේ ස්කෑනර් එක කඩලා තිබෙනවා. ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සීසීටීවී සහ බොඩි ස්කැනර් එක. ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට තමයි ඒ ගොල්ලෝ උත්තර දෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේක අහඹුවක් නෙමෙයි” නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ජූලි 6 වන දින උදෑසන පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇති අතර, පොලිසියෙන් සහ විශේෂ කාර්ය බලකායෙන් සහාය ඉල්ලා සිටි බව ද එම ඉල්ලීමෙන් පසු පොලිසිය බන්ධනාගාරයට ඇතුළු වී රාජකාරී ඉටු කළ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.

බන්ධනාගාර බලධාරීන්ට සහාය වීමට සහ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට සහාය වීමට පොලිසිය මැදිහත් වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

“අපට ලැබුණු මූලික තොරතුරුවලින් පෙනී යන්නේ සමහර රැඳවියන් බන්ධනාගාර ඔසුසලට හානි වූ පසු එයින් ලබාගත් ඖෂධ පානය කර ඇති බවයි. ජූලි 6 වන දින උදෑසන ඇති වූ නොසන්සුන්තාවයේදී ඔවුන් බලපෑමට ලක්ව තිබෙනවා”.  

පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවත්, ගැටුමේ දී ආයුධ රැගෙන ගියාද නැතහොත් භාවිතා කළාද යන්න ඇතුළු කරුණු කිහිපයක්, අඛණ්ඩ පරීක්ෂණය හරහා තීරණය කරනු ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට විමර්ශන මූලික අදියරේ පමණක් තිබෙන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කට උත්තර ලබා ගැනීම ආරම්භ කළේ පසුගිය 06 වැනිදා බව ද සඳහන් කළේය. මේ තත්ත්වය තුළ තවත් වැඩි දුර තොරතුරු හෙළි කළ නොහැකි බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website