විපක්ෂයේ සියලුම බොරු චෝදනාවලට අපි ක්‍රියාවෙන් පිළිතුරු දීලා තිබෙනවා – නියෝජ්‍ය ඇමති එම්. එම්. මොහොමඩ් මුනීර්

මම මුලින්ම කියන්න කැමති මම ශ්‍රී ලාංකික නියෝජ්‍ය ඇමතිවරයෙක්. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් මම නියෝජනය කරන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මේ රටේ සියලුම ප්‍රජාවන් නියෝජනය කරනවා. මීට පෙර මම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් සේවය කළා.

අපේ රජයට බලයට පත් වූ ගෙවී ගිය කෙටි කාලය තුළ සමස්ත රටේම ධනාත්මක වෙනස්කම් රැසක් සිදුවී ඇති බව පේනවා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් බිහිකරන බවට ජනතාවට පොරොන්දු වුණා. මම කියන්නේ නැහැ පි සීයට සීයක්ම සාර්ථක වුණා කියලා. නමුත් රටේ දේශපාලන වෙනසක් ඇති කිරීමට දේශපාලනඥයින්, පාලකයින් වෙනස් විය යුතුයි. අපි වෙනස කළා, ජනතා නියෝජිතයින්, දේශපාලනඥයින් සහ පාලකයින් ලෙස අපි වෙනසක් කළා. ඒ වගේම ගෙවී ගිය කෙටි කාලය තුළ මේ රටට දැවැන්ත විනාශයක් කළ නාස්තිය අඩු කිරීමට අපට පුළුවන් වුණා. වංචාව සහ දූෂණය අඩු කිරීමට අපට පුළුවන් වුණා. ඒ අනුව ජාත්‍යන්තර දූෂණ දර්ශකයේ පියවර ගණනාවක් ඉදිරියට ඒමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම මෑතකදී නිකුත් කළ ජාත්‍යන්තර සාම දර්ශකයේ 92 වැනි ස්ථානයේ සිට 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ දකුණු ආසියානු කලාපයේ භූතානයට පමණක් දෙවැනි වන, සාමකාමී රටක් බවට පත්වීමට අපට අවස්ථාව ලැබුණා. මෙයින් පැහැදිලි වන කරුණ තමයි වර්තමාන රජය කිසිම අවස්ථාවක ජාතිවාදය පෝෂණය කළේ නැහැ, ඊට අනුබල දුන්නෙත් නැහැ, සෑම අවස්ථාවකදීම ජාතීන් අතර සාමය සහ සහයෝගීතාවය තහවුරු කිරීමට ආණ්ඩුවක් ලෙස අනුබල දුන්නා, වැඩ කළා. ඒ වගේම තමයි අපට ලැබෙන සෑම අවස්ථාවක්ම ජනතාවට යම් සහනයක් ලබාදීමට පියවර ගත්තා. විශේෂයෙන් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමතිවරු වරප්‍රසාද පිටුපස, වෙනත් වරදාන පිටුපස යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මේ රටට, ජනතාවට යම්කිසි සේවයක් කළ යුතුයි කියන ස්ථාවරයේ, ප්‍රතිපත්ති සිට කටයුතු කරනවා. වරප්‍රසාද, වරදාන පිටුපස නුදුවන ඇමැතිවරුන්ගේ සංස්කෘතියක් ගොඩනැඟීමට අපට පසුගිය කෙටි කාලය තුළ හැකියාව ලැබුණා.

ආර්ථික පැත්තෙන් බලන විට ගෝලීය අර්බුදය හමුවේ ඉන්ධන මිල පාලනය කරගෙන ජනතාවට උපරිම සහන ලබාදීමට අපට හැකියාව ලැබුණා. අපට ලැබුණේ බංකලොත් වුණ ආර්ථිකයක් තිබුණ රටක්. නමුත් අපි බලය ලබා ගත්තට පස්සේ ආර්ථිකයට යළි ශක්තිය, ජීවය දීලා ආර්ථික වර්ධනය ඉහළ නංවා ගැනිමට, විදේශ සංචිත ශක්තිමත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ වන තෙක් නැවතිලා තිබුණ සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේම පසුගිය ආණ්ඩු අමතක කරලා, නොසලකා හැරලා තිබුණ ජනතාවගේ සුබසාධනය වෙත වැඩි අවධානයක් යොමු කිරීමට අපට අවස්ථාව ලැබුණා.

පසුගිය කාලය පුරාම මේ රටේ සිදු වුණේ ප්‍රචාරකවාදී සංවර්ධනයක්, ජනතාවගේ, රටේ අවශ්‍යතාවලට වඩා තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීම වෙනුවෙන්, වැඩි වැඩියෙන් කොමිස් ගැනීම, වංචා කිරීම වෙනුවෙන් වෙන් වුණ සංවර්ධනයක්. ඒ නිසා අදාළ සංවර්ධන ව්‍යාපෘතියෙන් රටට, ජනතාවට ලැබුණ ප්‍රතිලාභ සීමා වුණා, ඒවායින් ප්‍රතිලාභ ලැබුවේ දේශපාලනඥයින් සහ ඔවුන්ට හිතවත් කණ්ඩායම්. නමුත් අපි ඒ සංස්කෘතිය වෙනස් කරලා, ජනතාවට අවශ්‍ය, ජනතාවගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන සංවර්ධන ආකෘතියක් ක්‍රියාත්මක කළා. එහි සම්පූර්ණ ප්‍රතිලාභ ගලා ගෙන යන්නේ ජනතාවට පමණයි. අපේ ඇමතිවරු, මන්ත්‍රීවරු, පළාත් පාලන නියෝජිතයින් සහභාගී වෙන්නේ නායකත්වය දෙන්නේ ජනතාව විසින් ඉල්ලා සිටින, ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සංවර්ධන ව්‍යාපෘතිවලට පමණයි. අපි පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවලට අපහාස කරන, උපහාස කරන අය මුලින්ම තමන් පසුගිය කාලය තුළ කළ කී දේවල් දෙස බැලිය යුතුයි, ඒවායින් ප්‍රතිලාභ ලැබු‍වේ කවුරුන්දැයි සොයා බැලිය යුතුයි. එතකොට ඔවුන්ට ඇත්ත තේරෙයි. ඒ නිසා අපි කළ හා කරන දේවල් ගැන අපට සතුටටක් තිබෙනවා.

ඒක සාවද්‍ය, බොරු චෝදනාවක්. මමත් හොඳ ආගමිකයෙක්. අපි සියලු දෙනා සියලුම ආගම්වලට ගරු කරනවා. ඒ වගේම මම හිතනවා මිනිස්සුන්ට තමන් කැමැති ආගමක්, දර්ශනයක් ඇදහීමට නිදහසක් තිබෙනවා. ආගම කියන්නේ පුද්ගලික කාරණයක් ලෙස මම සලකන්නේ. හැබැයි විපක්ෂය අපට පසුගිය මැතිවරණ සමයේ එල්ල කළ බරපතළ චෝදනා මේ වන විට අසත්‍ය බව ඔප්පු වෙලා තිබෙනවා. ඔවුන් මැතිවරණ සමයේ ප්‍රකාශ කළා ශ්‍රී දළඳ පෙරහැර නතර කරාවී, පන්සල් වලට දානය දෙන එක නතර කරාවි කියලා. නමුත් වර්තමාන රජය යටතේ ආගමික හා සංස්කෘතික නිදහස ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ජනතාවගේ විශ්වාසයන්ට හානිකර ආකාරයේ කිසිම දෙයක් අපේ රජයෙන් සිදුවෙලා නැහැ. ඒ වගේම සෑම ආගමකටම අවශ්‍ය සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය අපි ලබා දීලා තිබෙනවා.

වසන්ත සමරසිංහ ඇමැතිතුමාගේ ප්‍රකාශය ගැන සමාජය තුළ විවිධ කතිකාවන් තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධ විවේචනයන් මමත් දැක්කා. ඇමැතිතුමා මොන අරමුණින් ඒ ප්‍රකාශය කළා ද කියලා මට අවබෝධයක් නැහැ. වර්තමාන මාධ්‍ය භාවිතය තුළ මම දකින බරපතළ වරදක් තමයි සන්දර්භයෙන් පිට විකෘති කිරීම. ඒ වගේම තමයි වසන්ත සමරසිංහ ඇමතිතුමාගේ ඒ ප්‍රකාශය මට සම්පූර්ණයෙන්ම බලන්න බැරි වුණා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළත් ඩෙංගු රෝගීන්ගේ යම් වර්ධනයක් අපි දකිනවා. නමුත් රජය මේ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය ආයතන සහ විශේෂයෙන් අපේ ප්‍රජා ශක්ති නායකයින් සමඟ සාර්ථකව කටයුතු කරමින් සිටිනවා, ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් කරමින් සිටිනවා. මෙහි දී රජය තමන්ගේ වගකීම නිසි පරිදි ඉටුකරමින් සිටිනවා. මම හිතනවා මේ අවස්ථාවේ පුරවැසියන්ටත් විශාල වගකීමක් හා වගවීමක් තිබෙනවා. අපි සියලු දෙනා වගකීමකින් හා වගවීමකින් කටයුතු කළොත් ඉතාම කඩිනමින් මේ තත්ත්වය පාලනය කර ගැනීමට අපට හැකියාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ අවදානම් තත්ත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා සහාය රජයක් ලෙස අපි ලබා දෙනවා. පළාත් පාලන ආයතන මේ වෙනුවෙන් මෙහෙයවනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website