ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ රජයේ සැලසුම පරාජය කළ යුතුයි – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට රජය සැලසුම් කරමින් සිටින බව පසුගිය දිනවල ජනමාධ්‍ය වාර්තා කළා. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට කාරණා කිහිපයක් අපි සැලකිල්ලට ගත යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ විශ්‍රාම යන වයස අවුරුදු 65ක් ලෙස තීන්දු කර තිබෙන අතර අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් ලෙස තීන්දු කර තිබෙනවා. මෙම වයස් සීමාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියේ (5) වැනි උප වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ වගේම 1978 සිට මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙකී විධානය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 78 ව්‍යස්ථාව සම්මත වීමට පෙර තිබුණෙත් ඒ හා සමාන හෝ ඊට කිට්ටු වයසක්. මේ කරුණට අදාළව තවත් වැදගත් කරුණක් වෙත අපි අපේ අවධානය යොමු කළ යුතුයි. වර්තමානය වන විට රට තුළ බරපතළ අර්ථික ප්‍රශ්නයක් තිබෙන අතර මේ හා සමගාමීව රට තුළ ඩෙංගු රෝගය බරපතළ ලෙස පැතිර යමින් තිබෙනවා. මෙම ‘බරපතළ ප්‍රශ්න දෙකට’ රජයේ පූර්ණ අවධානය යොමු කළ යුතු අවස්ථාවක රජය  ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස  සම්බන්ධ ගැටලුවක් ද ඉදිරියට ගෙන තිබෙනවා.

මගේ අදහස අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පළමු කරුණ මැතිවරණ පොරොන්දු හා සම්බන්ධ වෙනවා. වත්මන් රජයට බලයට පත්වීමට පෙර ජනතාවට ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 4.3 ඡේදයේ ‘නීතිය මත පාලනයක් – සමප්‍රවේශී  අධිකරණ පද්ධතියක්’ කියන කොටසේ තමයි අධිකරණය ගැන සඳහන් වෙන්නේ. පිටු අංක 155 සිට 156 දක්වා මේ කොටසේ කිසිම තැනක ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දමන බවට ප්‍රතිඥාවක්, පොරොන්දුවක් ලබාදීලා නැහැ. එහි කිසිම ස්ථානයක ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වසර තුනකින් ඉහළ දැමීමට පියවර ගන්නා බවට කිසිම සඳහනක් නැහැ. ඒකට හේතුව තමයි මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. මේක ඒ තරම් බරපතළ කාරණාවක්. ඒ නිසා ‘අපි බලයට ආවොත් මේක වෙනස් කරනවා’ කියලා මැතිවරණ ප්‍රතිඥාවක්, පොරොන්දුවක් දීලා ඒකට ජනතාවගේ අනුමැතිය, කැමැත්ත ලබාගත යුතුයි. නමුත් ආණ්ඩුව ඒක කළේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවේ මේ සැලසුමට, යෝජනාවට මහජනතාවගේ අනුමැතියක් ලැබිලා නැහැ.

දෙවැනි කාරණාව වන්නේ ජනතාවගෙන්, වෘත්තීය සංවිධානයන්ගෙන් හෝ විශේෂයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් කිසිම අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ‘හදිසියේම’ වැඩි කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව නැහැ. මේ අනුව අපට පැහැදිලි වන්නේ මෙය රජයේ මොනයම් හෝ අවශ්‍යතාවක් අනුව ඉදිරිපත් වූ යෝජනවක් බවයි. ආණ්ඩුව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටිය දී, ‘කොහෙවත් නැති’ ප්‍රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් ‘බොහොම හදිසියේ’ මතු කිරීම පිළිබඳව ජනතාවගේ සිත් තුළ දැඩි සාංකාවක් මතුවීම ස්වභාවිකයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉතාම වැදගත් වගේම බලවත් නිවේදනයක් නිකුත් කළා. ශ්‍රී ලංකා  නීතිඥ සංගමය පසුගිය දා නිකුත් කළ නිවේදනයකින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමේ රජයේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කළ අතර එය මේ අවස්ථාවේ නොකළ යුත්තක්’ බව අවධාරණය කළා, එය ප්‍රජාතන්ත්‍ර විරෝධී වෑයමක් බව ප්‍රකාශ කළා. මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය අගය කරනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ දා සිට අවුරුදු 48ක් තිස්සේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයය අවුරුදු 65ක් ලෙස තීන්දු කරලා තිබුණා නම්, ඒක බොහොම යහපත් ලෙස ක්‍රියාත්මක වුණා නම්, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63ක් ලෙස තීන්දු කර තිබුණා නම්, ඒක කිසිම ප්‍රශ්නයකින් තොරව ක්‍රියාත්මක වුණා නම්, මේ කරන්න යන දේ ප්‍රජාත්‍රන්ත විරෝධී එකක් බව ඉතාම පැහැදිලියි. මේ පියවර හරහා සමහර විට බරපතළ ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුව තමන්ට හිතෙන හිතෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ගියොත් ඒක බරපතළ තත්ත්වයක්, ඉතාම නරක පූර්වාදර්ශයක් වේවි. ආණ්ඩුව මේ වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළොත් අනාගතයේ බලයට පත්වෙන රජයකටත් මේක පෙරහුරුවක් වෙන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමේ වුවමනාවෙන් විවිධ වූ අවශ්‍යතා මත, හිතෙන හිතෙන වෙලාවට ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට පූර්වා දර්ශයක් වෙන්න පුළුවන්. මේ සිදුවීම මේ ආකාරයෙන් සලකා බලන විට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස මා තුළත් පොඩි චකිතයක් සහ කුකුසක් ඇති වෙනවා. ආණ්ඩුව මේ පියවර ගන්නේ තමන්ගේ යටි අරමුණක් ඉෂ්ඨ කර ගැනීමේ අරමුණින් ද ? කියලා මට පොඩි චකිතයක් සහ කුකුසක් ඇති වෙනවා.

 “මම මේක බොහොම පැහැදිලිව කියන්නේ, මේ කොහෙවත් නැති ප්‍රශ්නයක්, රටේ විසඳිය යුතු බරපතළ ප්‍රශ්න තිබිය දී මේ කොහෙවත් නැති ප්‍රශ්නයක් මතු කරගෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හදන්නේ ඔවුන්ගේ යටි අරමුණක් ඉෂ්ඨකර ගැනීමේ අරමුණින්. මෙන්න මේක තමයි අපි සැලකිල්ලට භාජනය කළ යුතු කාරණය. ඒකත් එක්කම තවත් කාරණාවක් තිබෙනවා, 2020 ඔක්තෝබර් මාසයේ දී වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කරලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ එවකට හිටපු විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කළා. මේ ආකාරයෙන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළේ ඉහළ අධිකරණවල විභාග කිරීමට නඩු විශාල සංඛ්‍යාවක් ඉතිරි වෙලා, හිර වෙලා තිබුණා. ඒවා ඉක්මනින් විභාග කර අවසන් කිරීම අරමුණු කර ගෙන විය යුතුයි මේ තීන්දුව ගත්තේ. මොකද විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි වුණාම දවසකට විසඳන්න පුළුවන් නඩු ප්‍රමාණය වැඩි වෙනවා”.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු හතර බැගින් තිබෙනවා. ආණ්ඩුව මේ පුරප්පාඩු පුරවන්නේ නැහැ. ඒ ඇයි ? කියලා අපට යළිත් ප්‍රශ්නයක් මතු වෙනවා. මේවා හිර කර ගෙන, තමන්ගේ අත යට තියා ගෙන ඉන්නේ ඇයි ? කියන ප්‍රශ්නය අපට ඇති වෙනවා. මේ රටේ විභාගයට ගත යුතු නඩු විශාල සංඛ්‍යාවක් තිබෙනවා, ඒ වගේම නඩු දිගින් දිගටම කල් යනවා, විසඳුමක් දෙන්න දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒකට විසඳුමක් ලෙස තමයි ඉහළ අධිකරණවල විනිසුරුවන්ගේ සංඛ්‍යාව වැඩි කළේ. නමුත් ආණ්ඩුව මොකක්ද කරන්නේ ?, ගහෙන් ගෙඩි එන්නා වාගේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දාන්න ව්‍යවස්ථා සංශෝධන ගේන්න හදන ආණ්ඩුව මේ පුරප්පාඩු ටික පුරවන්නේ නැහැ. ආණ්ඩුව මේ කරන වැඩේ අරමුණ මොකක්ද කියලා මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. මේ අතරේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කියලා තියෙනවා, ‘මේ මොහොතේ ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවීමට ක්‍රියා කළා නම්, ඒක කරන්න වෙන්නේ පහළ අධිකරණවල ඉන්න අය උසස් කිරීමෙන්, එහෙම කළොත් පහළ අධිකරණවල නඩු විභාග කරන්න කට්ටිය අඩු වෙනවා, ඒක පහළ අධිකරණවල නඩු විභාග කිරීමට ලොකු බාධාවක්’ කියලා. මට නම් මේ තර්කය පිළිගන්න බැහැ.

විනිශ්චයකාරවරුන් පත් කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. නමුත් මේ පත් වීම් කිරීමට පෙර අගවිනිසුරුතුමාගෙන් සහ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ ලබාගත යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙනුත් නිර්දේශ ලබාගත යුතුයි. ඒ නිර්දේශ ලබා ගැනීමෙන් පසුව තමයි ජනාධිපතිවරයා අදාළ පත් කිරීම් කරන්නේ. මේ සෑම විනිසුරුවරයෙක්ම මේ වන විට අධිකරණ සේවයේ නියුතු (රජයේ) නීතිඥයින්ගෙන් පත්වෙන්නේ නැහැ. හතර දෙනෙක් විතර තමයි බොහෝ විට පත්වෙන්නේ. ඒ අනුව පහළ අධිකරණවලින් සිවු දෙනෙක් ඉහළ අධිකරණයට පත් වුණා කියලා මහා ව්‍යසනයක් අධිකරණයට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන මට හරිම දුකයි.

ඔව්, යම්කිසි කෙනෙක් සියලු දේවල් අතහැරලා දාලා තමයි අධිකරණ සේවයට බැදෙන්නේ. ඔවුන් බොහෝ දෙනෙක් තුළ අනාගතයේ අග්‍රවිනිශ්චයකාරවරයා දක්වා යන්න පුළුවන් වෙයි’ කියලා විශ්වාසයක්, බලාපොරොත්තුවක් තිබෙන්න පුළුවන්. මතක තියා ගන්න අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63යි, මහාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 61යි. එතකොට අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු පුරවන්නේ නැතිව තිබෙන කොට සමහර විනිසුරුවරුන්ට මහාධිකරණයට පැමිණ අවුරුදු 61 වන විට විශ්‍රාම යන්න සිද්ධ වෙනවා. අවුරුදු 30ක්, 40ක් අධිකරණ පද්ධතිය තුළ අත්දැකීම්, පළපුරුද්ද ලබා ගත් විනිසුරුවරුන් මහාධිකරණයට ඇවිල්ලා, ඇහැට පේන තැන පුරප්පාඩු  තිබිය දී හැට එකේ දී ගෙදර යනවා. දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60යි. මෙම විනිසුරුවරුන් ද දීර්ඝ කාලයක අත්දැකීම් ඇති සහ වෘත්තීය පළපුරුද්ද ඇති විනිසුරුවරුන්.  ඔවුන් ද වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු, ඉහළ අධිකරණවල පුරප්පාඩු තිබිය දී විශ්‍රාම යා යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකියි. අධිකරණ පද්ධතියට දක්ෂ නීතිඥයින්, විනිසුරුවරුන් එක්වීම අධෛර්යමත් කිරීමක්. ඒ වගේම තමයි මේ ආකාරයෙන් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමට කිසිම තාර්කික පදනමක් නැහැ. මේ ආණ්ඩුව බලයට පත් වුණා කියලා ඉහළම අධිකරණවලට පත්වීම් කරන්න, උසස් වීම් ලබා දෙන්න මිනිස්සු හිඟ වෙලා නැහැ. මේ ආණ්ඩුව ආවා කියලා මේ රටේ පහළ අධිකරණවල ඉන්න දක්ෂ, පළපුරුදු විනිසුරුවරුන්, පෞද්ගලික අංශයේ දක්ෂ නීතිඥයින්, නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නීතිඥයින් සුන්නද්ධූලි වෙලා ගියේ නැහැනේ. නමුත් ආණ්ඩුව මේ කරන වැඩ වලින් මේ දක්ෂ, පළපුරුදු නීතිඥයින්ට ඉහළට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේක බරපතළ කාරණාවක්. ඒ වගේම තමයි තමන්ගේ යම් යම් අරමුණු ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් අධිකරණ පද්ධතියට බලපෑම් කරනවා නම් ඒක ‘හරිම භයානක දෙයක්’ හැටියටයි මම දකින්නේ. මේ ආණ්ඩුව වංචා, දූෂණ නැති කිරීමට පියවර ගන්නවා, ඒවා හොඳ වැඩ. නමුත් මේ සියල්ලටම වඩා භයානක වැඩක් තමයි මේ කරන්න හදන්නේ.

ඔව්, මම ජනතාවගෙන්, සියලු වෘත්තිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ඔබ මේ රටට ආදරය කරනවා නම්, නීතියේ ආධිපත්‍ය රැකෙනවා දකින්න කැමති නම් ආණ්ඩුව ගන්න හදන මේ අත්තනෝමතික පියවර පරාජය කිරීමට ‘එක මිටට’ එකතු විය යුතුයි, ඒ හරහා මේ සැලසුම පරාජය කිරීමට පියවර ගත යුතුයි. අපි එසේ නොකළොත් අපි කොහෙන් ගිහිල්ලා කොහෙන් නවතී ද කියලා කියන්න බැහැ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ආණ්ඩුවේ මේ සැලසුමට සිය විරෝධය පළ කරමින් ජනාධිපතිතුමාට ලියුමක් යැව්වා. ඒකේ ඉතාම තර්කානුකූලව සිය විරෝධයට හේතුව දක්වා තිබෙනවා. ඒ වගේම මේ කාරණය ගැන සාකච්ඡා කිරීමට නීතිඥ සංගමය රැස්වීමකුත් කැඳවා තිබෙනවා. මම හිතන ආකාරයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමන්ගේ වගකීම  ඉටු කරනවා. නමුත් නීතිඥ සංගමයේ මැදිහත් වීම පමණක් ප්‍රමාණවත් නැහැ. මේ අභියෝගයට මුහුණ දීමට සියලුම වෘත්තිකයෝ, වෘත්තිය සංවිධාන, සිවිල් සමාජ සංවිධාන පෙරට පැමිණිය යුතුයි. ඔවුන් සියලු දෙනා එක මිටට එකතු වෙලා මේ ප්‍රශ්නයේ දී ආණ්ඩුවේ සැලසුම පරාජය කිරීමට කටයුතු කළ යුතුයි. එසේ නොකර, නැව ගිලුණට පස්සේ කතා කරලා වැඩක් නැහැ.

මගේ අවබෝධයේ තරමට විපක්ෂය මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් හඬක් නඟන බවක් පේන්නේ නැහැ. විපක්ෂය මේ සැලසුමේ භාරධූරකම, බරපතළකම හරියට තේරුම් ගෙන ඇති බවක් පේන්න නැහැ. ඒ වගේම මේ ගැන ජනතාව දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් පියවර ගෙන ඇති බවක් මට නම් පේන්නේ නැහැ. මට පේන ආකාරයට විපක්ෂය මේ වගකීම හමුවේ කර අරින බවක් දකින්න පුළුවන්.

සංවාද සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website