ඉතාම පැහැදිලිව මේ සමගිය නොරුස්සන, මේකෙන් භීතියට සහ අපේක්ෂාභංගත්වයට පත් පුද්ගලයින්, පක්ෂ සහ ඇතැම් ජනමාධ්‍ය ආයතන තිබෙනවා. ඒ ගොඩටට දැන් යූ ටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් ද පැමිණ සිටිනවා. ඔවුන් සියලු දෙනා දැන් එක මිටට පැමිණ මේ හමුව, මේ සමගිය පිළිබඳව දැඩි විවේචනයක් මෙන්ම මෙය කඩාකප්පල් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය දා සිදු වුණ හදිසි හමුවීම දේශපාලන කරළිය තුළ දැඩි උණුසුමක් ඇති කරලා තිබෙනවා. ඔබට මේ හමුවීම දැනුණේ කොහොමද ?
පසුගිය ජූනි 13 වැනි බදාදා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතතිතුමා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසට පැමිණියා. හිටපු ජනාධිපතිතුමා මේ දිනවල විවේක සුවයෙන් ඉන්නේ, දේශපාලන කටයුතුවලට යම් ප්‍රමාණයකින් තමයි සම්බන්ධ වෙන්නේ. විපක්ෂ නායකතුමා හිටපු නායකයාගේ සුව දුක් විමසලා, ඊට පස්සේ පසුගිය අරගල සමයේ ගිනි තබා විනාශ කළ නිවසේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරය ගැන කතා කළා. ඊට පස්සේ විපක්ෂ නායකතුමා හිටපු ජනාධිපතිතුමා සමඟ එතුමාගේ පුස්තකාලයට ගොස් අරගලකරුවන් විසින් විනාශ පුස්තකාලය නිරීක්ෂණය කළා. ඊට පස්සේ රටේ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා. ඒ වගේම පක්ෂ දෙකේ ඉදිරි ගමන් මග වගේම, පක්ෂ දෙකේ ඉදිරි ගමන් මග සහ පක්ෂ දෙකේ සමගි සහ සන්ධානගත වීම ගැන පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කළා.
මේ සුවිශේෂ සාකච්ඡව සිදුවෙන්නේ එජාප ප්‍රබලයෙක් වන මහාචාර්ය අශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීමෙන් පසුව නේද ?, මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
පසුගිය කාලය පුරාම මහාචාර්ය අශු මාරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳව නොගැළපෙන සහ පක්ෂයේ ස්ථාවරයට පටහැනි විවිධ ප්‍රකාශ ජනමාධ්‍ය ඔස්සේ කළා. නමුත් ඔහු මේ ආකාරයෙන් විවිධ රූපවාහිනී සාකච්ඡාවලට සහභාගී වුණේ පක්ෂයේ අනුමැතියෙන් තොරව. ඔහු කළ ඇතැම් ප්‍රකාශ එජාපය සහ සජබ අතර ගොඩනැගෙමින් පැවති සමගියට, එකඟතාවයන්ට යම්කිසි ආකාරයකට හානියක් කළා. ඒ වගේම ඔහු එක්සත් ජාතික පක්ෂය ගැන නොගැළපෙන ප්‍රකාශ ගණනාවක් කළා. ඒ නිසා තමයි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ. ඔහු තව දුරටත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය නොකරන බව මේ වන විට පක්ෂ මහා ලේකම්වරිය විසින් අදාළ අංශ වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.
රනිල් – සජිත් හමුවෙන් පසු ලංකාවේ දේශපාලන කරළියේ, විශේෂයෙන් දකුණු කඳවුරේ යම්කිසි පෙරළියක් සිදුවෙයි ද ?
දකුණු කඳවුර මේ හමුවෙන් පසු දැඩිව සතුටට පත්ව තිබෙනවා, ඔවුන් තුළ යළි බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් ඇතිවෙලා තිබෙනවා. එජාපය සහ සජබය යළි සමගි වී එකම පක්ෂයක් බවට පත්විය යුතුයි කියන ස්ථාවරයේ තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මේ වන විට බිම් මට්ටමේ සිට, ගමේ සිට මේ හඬ අවධි වෙලා තිබෙනවා. බොහෝ දෙනා කියනවා පක්ෂ දෙක එකතු වුණොත් පමණයි දේශපාලන අනාගතයක් තිබෙන්නේ කියලා. පක්ෂ දෙක බෙදී කටයුතු කළොත් ඉදිරියේ දී විපක්ෂ නායකත්වය පමණක් නෙවෙයි පක්ෂ දෙකම දේශපාලනිකව බිඳ වැටෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒ නිසා පක්ෂ දෙක යළි එක්සත් විය යුතුයි කියන්නේ පොදුජන මතයක්, බිම් මට්ටමේ සිට ඇසෙන හඬක්. නමුත් අපි දන්නවා මේ වන විට බිම් මට්ටමේ දී මේ පක්ෂ දෙක එකතු වෙලා සිටිනවා. සමගි ජන බලවේගය කියන්නේ 2019 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන්ම බෙදී ගිය කොටසක්, සජබ රැගෙන ගියේ එජාපයේ ඡන්ද පදනමම තමයි. නමුත් සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ මුළු ඡන්ද පදනම ගෙන යාමට නොහැකි වුණා. ඒ සමඟ එක්සත් ජාතික පක්ෂයේ විශාල ඡන්ද ප්‍රතිශතයක් නිෂ්ක්‍රීයභාවයට පත් වුණා. විශේෂයෙන් දකුණේ දේශපාලන ගැන විශ්වාසය තබා ගෙන සිටින බොහෝ දෙනෙක් නිෂ්ක්‍රීය වුණා. ඔවුන් දැඩිව විශ්වාස කළේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ඡන්ද පදනම සකස් කර ගැනීමට පුළුවන් පක්ෂ දෙක එක්සත් වීමකින් පමණක් බවයි.
පක්ෂ දෙක එක්සත් කිරීම මෙතරම් සංකීර්ණ සහ කල්ගත වන වැඩපිළිවෙළක් වුණේ ඇයි ?
පසුගිය කාලයේ පක්ෂ දෙක යළි එක්සත් කිරීම වෙනුවෙන් අවස්ථා ගණනාවක දී කමිටු පත් කළා, සාකච්ඡා වට ගණනාවක් පැවැත් වුණා. නමුත් ඒවා අපේක්ෂා කළ තරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා අවසානයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ කමිටු සියල්ල විසුරුවා හැරියා. ඊට පස්සේ ඔහු කිව්වා ‘මම ම ගිහින් එජාප නායකයා සමඟ විවෘතව, මුහුණට මුහුණ සාකච්ඡා කරලා අවසන් තීරණයක් ගන්නවා කියලා. නමුත් මාස ගණනක් ගත වුණත් ඒක සිදු වුණේ නැහැ. නමුත් පසුගිය බදදා අපට ඒ සුභ ආරංචිය ආවා. මේ වන විට පක්ෂ දෙක යළි එක්සත් වීම ගැන බලාපොරොත්තුවක් දකුණු කඳවුරේ ජනතාව තුළ ඇති වෙලා තිබෙනවා.
මේ සමගි නොරුස්සන පිරිසක්, එසේ නොමැති නම් මේක කඩාකප්පල් කළ යුතුයි කියලා හිතන කණ්ඩායමකුත් ඉන්නවා කියලා කියනවා. ඔබ මේ ගැන කුමක් ද කියන්නේ ?
ඉතාම පැහැදිලිව මේ සමගිය නොරුස්සන, මේකෙන් භීතියට සහ අපේක්ෂාභංගත්වයට පත් පුද්ගලයින්, පක්ෂ සහ ඇතැම් ජනමාධ්‍ය ආයතන තිබෙනවා. ඒ ගොඩටට දැන් යූ ටියුබ්කරුවන් සහ සමාජ මාධ්‍යකරුවන් ද පැමිණ සිටිනවා. ඔවුන් සියලු දෙනා දැන් එක මිටට පැමිණ මේ හමුව, මේ සමගිය පිළිබඳව දැඩි විවේචනයක් මෙන්ම මෙය කඩාකප්පල් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා.
එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ සමීපව කටයුතු කළා. එජාප මහ ලේකම්වරිය මේ ගැන ප්‍රසිද්ධියේ කතා කළා. මේ සමගිය සහ සජබ සමඟ යළි ඒකාබද්ධ වීම ගැටලුකාරීයි නේද ?
මාළිමාව ආණ්ඩුව කරන දේශපාලන පළිගැනීම්, වෛරී දේශපාලනය, මර්දනය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති ගමන සහ ජනතා විරෝධී ක්‍රියාකාරකම්වලට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු බලවේග පුළුල් පෙරමුණක් ලෙස කටයුතු කළ යුතු බව එජාප නායකයා හැමදාම අවධාරණය කළා, පෙන්වා දුන්නා. එතුමාගේ ස්ථාවරය වුණේ මේ සියලු කණ්ඩායම් සහ බලවේග එකම වේදිකාවකට පැමිණිය යුතු බවයි. නමුත් බොහෝ දෙනෙක් මේ ප්‍රකාශය ගැන සැක කළා. ඔවුන් කිව්වා ‘මේ රනිල් යළි පොදු අපේක්ෂකයා වෙන්න ගහන ගේමක්’ කියලා. නමුත් ඇත්ත ඒක නෙමෙයි, එතුමාට අවශ්‍ය වුණේ දුර්වලව සිටි විපක්ෂයට ශක්තියක් ලබාදීමයි, යළි බලාපොරොත්තුවක් ලබාදීමයි. ඒ නිසා එතුමා බොහෝ විට තිරයෙන් පිටුපස සිට තමන්ගේ කාර්යභාරය ඉටු කළා.
රනිල් එක්ක මේ ගමන යන්න නොහැකි බවටත් ප්‍රබල චෝදනාවක් තිබුණා නේද ?
ඔව්, ඒ නිසාම එතුමා මුල් පෙළ භූමිකාවෙන් ඉවත් වුණා. සාකච්ඡා සඳහා රුවන් විජේවර්ධන, තලතා අතුකෝරළ, හරීන් ප්‍රනාන්දු වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පත් කළා. නමුත් මේ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ. මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කාටත් පිළිගත හැකි, එක්සත් ජාතික පක්ෂයේ වැඩක් කියලා ලේබල් නොවන, මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙක් වන මහාචාර්ය ජී.එල්. පීරිස් තෝර ගත්තේ. විපක්ෂයේ සියලු කණ්ඩායම් එකම වේදිකාවට ගේන කටයුත්තට ජී.එල්. නායකත්වය දුන්නේ හිටපු ජනාධිපතිතුමාගේ ආරාධනාව අනුවයි. එක්සත් ජාතික පක්ෂය මේ වන විට ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වකරුවෙක් ලෙස කටයුතු කරනවා. මහාචාර්ය පීරිස් විසිරී සිටි විපක්ෂය එකම වේදිකාවට රැගෙන විත් තිබෙනවා. මේකට සජබේ එකතු වුණේ නැහැ. පොහොට්ටුව ඉවතට ගියා. නමුත් ඒකාබද්ධ විපක්ෂය සමඟ මේ වන විට පක්ෂ 30ක් එකතු වෙලා සිටිනවා. මේ වැඩපිළිවෙළට මේ වන විට ආණ්ඩුව බියට පත්වෙලා තිබෙනවා. නිල විපක්ෂයට වඩා ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුව බයයි.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූනි 28 වැනිි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
















