එක්දින තරගාවලිය 2:1ක් ලෙස ජය ගැනීමට කොදෙව් නැගීඑන පිල සමත් වෙයි

ෂක්‍රේ පැරිස්ගේ විශිෂ්ට ශතකය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම සමඟ කොළඹ එන්. සී. සී. පිටියේ පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 76ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට අද (26 දා) පස්වරුවේදී සිදුවිය. මෙම පරාජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය අත්කර ගැනීමට කොදෙව් නැගීඑන ක්‍රීඩකයෝ සමත්වූහ.

මෙම තරගාවලියෙන් කොදෙව් නැගීඑන පිල ජය ගත්ත ද ඉකුත්දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස ජය අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 349ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කඩුලු රකින ක්‍රීඩක ෂක්‍රේ පැරිස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු ඉඩක් නොතබමින් පන්දු 129කදී හතරේ පහර 13ක් සහ හයේ පහර 11ක් සමඟින් අනර්ඝ ලකුණු 177ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබාදුන් කෙව්ලන් ඇන්ඩර්සන් නොදැවී ලකුණු 86ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී චාමික හීනටිගල සහ ත්‍රවීන් මැතිව් කඩුල්ල බැගින් දවා ගත් අතර, සෙසු පන්දු යවන්නන්ට කොදෙව් පිතිකරුවන් පාලනය කිරීම දුෂ්කර විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 350ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආරම්භයේ සිටම අවශ්‍ය ලකුණු වේගය සමඟ සටන් කළද, පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී ලකුණු 273කට සීමා විය.

මැදපෙළ පිතිකරු රනේෂ් සිල්වා පන්දු 64කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 69ක් රැස් කරමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. දිනුර කළුපහන පන්දු 61කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 54ක් රැස් කළ අතර, විෂේන් හලඹගේ ලකුණු 42ක්, චාමික හීනටිගල ලකුණු 32ක් සහ ත්‍රවීන් මැතිව් ලකුණු 29ක් ලබා ශ්‍රී ලංකා ඉනිමට දායක වූහ.

කොදෙව් නැගී එන කණ්ඩායම වෙනුවෙන් අමාරි ගුඩ්රිජ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 56කට කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකා හඹායෑම බිඳ දැමූ අතර සිෂාන් මොටාරා සහ ජියොවොන්ටේ ඩිපෙයිසා කඩුලු දෙක බැගින් දවා ගත්හ. මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රධානය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු වන රෝයි ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම පන්දුවාර 50කදී කඩුලු 4ක් දැවී ලකුණු 348 යි ෂක්‍රේ පැරිස් 177, කෙව්ලන් ඇන්ඩර්සන් 86*, චාමික හීනටිගල 30/1, ට්‍රෙවීන් මැතිව් 42/1)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 42.4කදී සියලු දෙනා දැවී ලකුණු 273 යි – (රනේෂ් සිල්වා 69, දිනුර කළුපහන 54, විෂේන් හැළඹගේ 42, චාමික හීනටිගල 32, ට්‍රෙවීන් මැතිව් 29, අමාරි ගුඩ්රිජ් 56/4, සිෂාන් මොටාරා 46/2, ජියොවොන්ටේ ඩිපෙයිසා 52/2)

source:srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website