ඉන්දීය බාලිකාවෝ විස්සයි-20 තරගාවලිය ජය ගනිති

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට එරෙහිව චෙන්නායිහි පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියේ අද (24දා) පැවැති දෙවැනි තරගයෙන්ද ලකුණු 17ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායමට, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමට සිදුවිය.

චෙන්නායිහි පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් රැස් කළේය. ඉන්දීය ඉනිමට මුල් කඩුල්ල ලකුණු 17දී අහිමි වූවත්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු ලකුණු 57ක සබඳතාව ඔවුන්ට ශක්තිමත් පදනමක් සැපයීය. එහි ප්‍රධානී වූයේ තනිෂ්කා ෂර්මා වන අතර ඇය ලකුණු 58ක ඉනිමක් ක්‍රීඩා කරමින් ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත්විය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේදී අසේනි තලගුණේ, චමෝදි හේරත්, ධනෝධ්‍යා සෙව්මිණි, ප්‍රමුදි මෙත්සරා සහ ලිමන්සා තිලකරත්න කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ. කෙසේ වෙතත් පළමු තරගයේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායිකා චමුදි ප්‍රබෝධාට මෙවර කඩුලු අතරට පිවිසීමට අවස්ථාවක් නොලැබිණි.

ලකුණු 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් බාලිකාවන්ගේ ඉනිමටද සාර්ථක ආරම්භයක් ලැබිණි. පළමු කඩුල්ල ලකුණු 26දී බිඳ වැටුණද දෙවැනි කඩුල්ල වෙනුවෙන් විමොක්ෂා බාලසූරිය සහ මනුදි නානායක්කාර එක්ව ලකුණු 69ක අගනා සබඳතාවක් ගොඩනැගූහ. එම සබඳතාව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යන මාවත විවර කරනු ඇතැයි පෙනී ගිය නමුත් ලකුණු 61 ක් ලබා සිටි විමෝක්ෂා දැවී යෑමත් සමග එම ජයග්‍රාහී ගමන එලෙසින්ම පවත්වාගෙන යෑමට මැද පෙළ පිතිකාරිනියන්ට නොහැකි විය. එම දැවී යෑමත් සමඟ ඉනිමේ ගමන්මග සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර ශ්‍රී ලංකා පිතිකාරිණියන් පීඩනයට යටත් විය.

ශ්‍රී ලංකා යොවුන් බාලිකාවන් තරගය ජයගැනීමට හොඳ අවස්ථාවක් නිර්මාණය කරගෙන සිටියද මැදපෙළේ නොසැලකිලිමත් පිතිහරඹය සහ අවසාන මොහොතේ පීඩනය හමුවේ බිඳ වැටීම හේතුවෙන් එම අවස්ථාව අපතේ ගියේය. විශේෂයෙන්ම දෙවැනි කඩුල්ලේ සබඳතාවයෙන් පසු තවත් කල්පනාකාරී සහ ඉවසීමෙන් යුතුව ඉනිම ගොඩනැගීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට හැකි වූයේ නම් මෙම තරගයේ ප්‍රතිඵලය වෙනස් මගකට යොමු වන්නට තිබුණි.

අවසානයේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකාවට රැස් කළ හැකි වූයේ ලකුණු 123ක් පමණි. එහිදී අවසන් කඩුලු 6 ලකුණු 28ක් තුළ බිඳ වැටීම තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය.

ශ්‍රී ලංකා මැදපෙළට දැඩි පීඩනයක් එල්ල කළ ඉන්දීය පන්දු යවන්නියන් අතර ජන්හවි විර්කාර් සහ මෛත්‍රි මනියාර් කඩුලු 3 බැගින් බෙදා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

මේ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ඉන්දීය 19න් පහළ බාලිකාවන් සතු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ඉතිරි තරගයෙන් සැනසිලි ජයක් වාර්තා කර ගැනීමේ අභියෝගය පමණක් ඉතිරිව තිබේ.

ඉන්දීය 19න් පහළ බාළිකා පිල පන්දුවාර 20කදී කඩුලු 6 ක් දැවී ලකුණු 134 යි – (තනිෂ්කා ෂර්මා 58, ඉරා ජාදව් 26, කුමාරි පාලක් 21, චමෝදි හේරත් 24/1, ධනෝධ්‍යා සෙව්මිණි 15/1, අසේනි තලගුණේ 23/1, ප්‍රමුදි මෙත්සරා 24/1, ලිමන්සා තිලකරත්න 18/1)

ශ්‍රී ලංකා 19න් පහළ බාළිකා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 කට ලකුණු 123 යි – (විමොක්ෂා බාලසූරිය 61, මනුදි නානායක්කාර 24, සංජනා කාවින්දි 14, ජන්හවි විර්කාර් 14/3, මෛත්‍රි මනියාර් 26/3, කශ්වි කන්දිකුප්පා 24

source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website