ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටී මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ ඉදිරි ප්‍රතිපත්තිමය සැලසුම් පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.
කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සඳහා එක්වන ලෙසද ආයෝජකයන්ට ආරාධනා කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ කර්මාන්ත ශාලා ගොඩනැගිලි රජයේ අනුග්‍රහය ඇතිව ලබා දීමේ “Plug and Play” ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රුපියල්වලින් සිදුකරන ආයෝජන ඉහළ ගියද, ඒවා නිසා ඩොලරයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහා ඩොලර් උපයන මාර්ග ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි. රුපියල් වියදම් සීමා කරමින් ඩොලර් ආදායම වැඩි කර ගැනීම මගින් ආර්ථික පිබිදීමක් ඇති කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ආයෝජකයන් මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර ඉඩම්වල වටිනාකම සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය සහතික කිරීමට රජය මැදිහත් වන බව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණය මේ වන විට සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.
වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දුන්නේය.
වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවා ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
වෙළඳාම සහ ආයෝජන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා “වෙළඳාම සඳහා වූ ජාතික තනි කවුළුව” මෙම ජූලි මාසය අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, ආයෝජන සඳහා වූ ජාතික තනි කවුළුව මෙම වසර අවසානය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට, මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දෙන බවද පැවසීය.
තම ගැටලු ජනාධිපතිවරයා වෙත සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීම පිළිබඳ මෙහිදී ආයෝජකයන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ අතර සිය කටයුතු ඉදිරියට කරගෙන යාමේදී මතුවන ගැටලු පිළිබඳ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට මාසිකව සාකච්ඡාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහිද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
















