නීතිඥ, ආචාර්ය විරංජන හේරත්
පසුගිය ජූනි 05 වැනිදා ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය ආයතන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිමය පසුබිමකින් විශ්ලේෂණයක් කිරීම ද වැදගත්ය. මෙහි දී මුලින්ම ‘මාධ්‍යවේදියා යනු කවුද ? යන ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත යුතුය. වර්තමානයේ සමාජමාධකරුවන් ජනමාධ්‍යවේදීන් ලෙස හඳනා ගත්ත ද ඔහු ජනමාධ්‍යවේදියෙක් ද, නව මාධ්‍යකරුවන් ජනමාධ්‍යවේදීන් ද, යූ ටියුබර්කෙනෙක් ජනමාධ්‍යවේදියෙක් ද, සම්ප්‍රදායික මාධ්‍යවේදීන් පමණ ද ජනමාධ්‍යවේදීන් ලෙස සැලකිය හැකි වන්නේ ආදි ප්‍රශ්න ගණනාවක් අප හමුවේ තිබේ.
මෙහි අදහස වන්නේ ජනමාධ්‍යවේදියා යනු කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීමට හෝ නිර්වචනය කිරීමට නොහැකි වීමය. එසේම සමස්තයක් ලෙස ගත් විට ‘මාධ්‍ය වෘත්තිකත්වය’ යනුවෙන් හැඳින්වීමට වඩා මාධ්‍ය වෘත්තිය ‘ශිල්පීය’ දෘෂ්ටිකෝණයකින් සලකා බලන තත්ත්වයක් තිබේ. මෙරට ප්‍රකට මාධ්‍ය විචාරකයෙක් වන විජයානන්ද ජයවීර මහතාට ද අනුව වර්තමානයේ දී ‘මාධ්‍යවේදය යනු ශිල්පයක්’ බවට පත්ව තිබේ.
“මේ කියන කාරණා අපට පිළිගන්න වෙනවා. වෘත්තියක් ලෙස මෙහි තිබෙන බලපෑම කොපමණ දුරකට කළ හැකි ද කියන කාරණය මෙහි දී වැදගත් වෙනවා. මෙහි දී මාධ්‍යවේදියා නිර්වචනය කරන්නේ කෙසේ ද ? යන ගැටලුව අපට ඇති වෙනවා” කතිකාවට සිය ප්‍රවේශය ගනිමින් ආචාර්ය විරංජන හේරත් තර්ක කළේය.
තීරණාත්මක සාධයක්
කැබිනට් රැස්වීමක්, ජනාධිපතිවරයා යන රැස්කීමක් වැනි අතිෂය වැදගත් අවස්ථාවක් වාර්තා කිරීමට ‘සෑම අයෙකුටම’ ඉඩ දීමට හැකියාවක් තිබේද ? යන ගැටලුව විරංජන මෙහි දී ඉස්මතු කළේය. “මම යූ ටියුබර් කෙනෙක්, මම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් කියලා ඔ්නෑම පුද්ගලයෙකුට මෙවැනි අවස්ථාවක් ආවරණය කිරීමට යන්න පුළුවන් ද ?” විරංජන හේරත් ප්‍රශ්න කළේය.
ඔහු මෙහි දී පැවසුවේ භාෂණයේ හා ප්රකාශනයේ නිදහස වර්තමානය වන විට පුළුල් වී ඇති බවයි.
“සමාජ මාධ්‍ය එක්ක, නව මාධ්‍ය එක්ක මේක හොඳටම පුළුල් වෙලා තියෙන්නේ. අද ජනමාධ්‍යවේදය කියන එක ඒක අතුළේ තියෙන කොටසක් විදිහට තමයි මම දකින්නේ. භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස කියන ඒක ඇතුළේ පොඩි කොටසක් ලෙස තමයි ජනමාධ්‍යවේදය කියන එක මම දකින්නේ” විරංජන තර්ක කළේය.
යෝජිත වරලත් මාධ්‍ය ආයතන පනතින් භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට බලපෑමක් තිබේද ? යන්න වෙනම සලකා බැලිය යුතු බව නීතිඥ විරංජන හේරත් පෙන්වා දුන්නේය.
මෙහි දී විරංජන පැවසුවේ යෝජිත පනත මාධ්‍ය වෘත්තිකයන් ප්‍රමිතිගත කිරීමට යන වෑයමක් ලෙස සැලකිය හැකි බවයි.
“පොදුවේ මේ පනත් කෙටුම්පත අදහස් ප්‍රකාශ කිරීමේ, නැතිනම් භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට ගෙනාපු ලොකු තර්ජනයක් ලෙස දකින්න මම කැමති නැහැ. මෙහි යම් ගැටලු තිබෙනවා. ඒ ගැන වෙනම කතා කළ හැකියි. නමුත් ඒ දෙක පටලවා ගත යුතු නැහැ කියලා මම හිතනවා” විරංජන හේරත් අවධාරණය කළේය.
මාධ්‍ය ක්ෂේත්රයේ ගැටලු
වර්තමානයේ මාධ්‍ය ක්ෂේත්රයේ ගැටලු ගණනාවක් පවතින බව විරංජන පෙන්වා දුන්නේය. රැකියා සුරක්ෂිතභාවය, රැකියාවේ තෘප්තිය, වැටුප් ආදි ගැටලු ගණනාවකින් මාධ්‍යවේදීන් පීඩාවට පත්ව සිටින බව පැහැදිලි කළ විරංජන හේරත් ‘මාධ්‍ය ක්ෂේත්රය තුළ ලොකු ගැටලු’ පවතින බව ද කීවේය.
“මේ තත්ත්වය තුළ මාධ්‍යකරුවාට කොහොමද පිළිගැනීමක් දෙන්නේ – පිළිගැනීමක් දිය යුතු ද ?, එවැනි පිළිගැනීමක් දෙනවා නම් ඒක කළ යුත්තේ කොහොම ද? ආදි ප්‍රශ්න ගණනාවක්නේ අප හමුවේ තියෙන්නේ. මේ තත්ත්වය තුළ තමයි වරලත් මාධ්‍ය ආයතනයක් පිහිට වීමට අදාළ පනත් කෙටුම්පත් ගෙනත් තියෙන්නේ” විරංජන හේරත් පැවසුවේ මෙම පනත වත්මන් ආණ්ඩුව ‘දඩිබිඩියේ ගෙනා පනතක්’ නොවන බවයි.
“මම දන්න ආකාරයට මේක අවුරුදු ගණනාවක් තිස්සේ සාකච්ඡා වෙමින් තිබුණ දෙයක්. අන්තිමට කුරුසයට කර ගැහුවේ, පනත ගෙනාවේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව මේ පනත කුමන අරමුණකින් ගෙනාව ද ? කියලා කතා කරන්න මම කැමති නැහැ. නමුත් මේ පනත ගෙනාවේ මේ ආණ්ඩුව” විරංජන හේරත් තම ස්ථාවරය වැඩි දුරටත් පැහැදිලි කළේය.
පනතේ තියෙන දේවල්
“මේ පනතේ තියෙනවා මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිති හඳුන්වා දෙනවා කියලා. මේ අරමුණින් තමයි මේ පනත ගේන්නේ. එතකොට ‘වෘත්තීමය ප්‍රමිති අවශ්‍යය ද – නැද්ද ? කියන එක ප්‍රශ්නයක්. මම දකින ආකාරයට වෘත්තීමය ප්‍රමිති මෙහෙමයි. සමාජ මාධ්‍ය භාවිතා කරන අයෙකුට වුණත් යම් ප්‍රමිති ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ වේදිකාවේ ප්‍රමිතිවලට අනුගත විය යුතු වීම ආදි වශයෙන් යම් යම් ප්‍රමිති තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ‘වෙනම ප්‍රමිතියක්’ දිය යුතු ද කියන ප්රශ්නය තිබෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ මුද්‍රිත මාධ්‍යවලට ගියොත් කර්තෘ සංසද ආචාරධර්ම පද්ධතිය තිබෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍යවලට ආචාරධර්ම පද්ධතියක් නැහැ. මේ තත්ත්වය තුළ විද්‍යුත් මාධයවල ආචාරධර්ම ගැන බරපතළ ගැටලුවක් තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය තමන්ට කැමති – කැමති ආකාරයට කටයුතු කරනවා. එතකොට අපි විද්‍යුත් මාධ්‍යවලට මොකක්ද කරන්නේ? කියන ගැටලුව තිබෙනවා. විද්‍යුත් මාධ්‍යවලට ප්‍රමිතියක් ලබාදිය යුතු නැද්ද ?. විශේෂයෙන් මෙහි ගැටලුවක් තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය පාවිච්චි කරන්නේ මහජන සංඛ්‍යාත. මාධයවලට ප්‍රමිතියක් හඳුන්වා දිය යුතු ද, නැද්ද ? කියන කියන කාරණය එනනේ මෙවැනි පසුබිමක.” ජනමාධ්‍ය ප්‍රමිතිකරණයට ලක් කිරීමේ අවශ්‍යතාව සහ එහි අභියෝග ගැන සිය ස්ථාවරය පැහැදිලි කරමින් ආචාර්ය විරංජන හේරත් පැවසුවේය.
මේක ඍජුවම කිව යුතුයි. මේකේ අතුරු පාලක සභාවක් පත් කරනවා. ඒ අතුරු පාලක සභාව පත්කරන්නේ විෂයභාර අමාත්‍යවරයා. පනත් කෙටුම්පතේ 26 වැනි වගත්නියට අනුව මේ අතුරු පාලක සභාව රාජ්‍යයේ සහ පවතින ආණ්ඩුවේ කැමැත්ත මත තමයි පත්කරන්නේ. එතනින් එහාට සිදුවන සියලු කටයුතු රාජ්‍යයේ සහ ආණ්ඩුවේ බලපෑමට යටත් වීමේ අවදානමක් තිබෙනවා. මේක මූලික ප්‍රශ්නයක්, බරපතළම ප්රශන්යක් ලෙස මම දකිනවා

ප්‍රමිතියක් අවශ්‍යයි
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට යම්කිසි ප්‍රමිතියක් අවශ්‍ය බව තමා විශ්වාස කරන බව විරංජන මෙහි දී පැවසුවේය.
“ඒක මේ පනතේ තියෙන ප්‍රමිතිය ද, වෙන එකක් ද කියන එක නෙමෙයි. මාධ්‍යවේදීන්ට යම්කිසි ප්‍රමිතියක් තිබිය යුතුයි. ඊළඟට ‘මේ ප්‍රශ්නවලට විසඳුම මේ පනත තුළ තිබෙනවා ද ?’ කියන එක සොයා බැලිය යුතුයි. මේ පනත් කෙටුම්පත අනුව වරලත් මාධ්‍ය ආයතනය කියන්නේ ‘රාජ්‍ය ආයතනයක්’ නෙමෙයි. මේක සාමාජිකයෝ එකතු වෙලා හදා ගන්න ආයතනයක්. නමුත් යම් නීතිමය බලයක් තිබෙනවා. අනෙක් අතට මේක පාර්ලිමේන්තු පනතකින් හදපු රාජ්‍ය නොවන සංවිධානයකුත් නෙමෙයි. යම් ආකාරය නීතිමය ස්වරූපයක් මේකේ තිබෙනවා. රාජ්‍යයට වගකිව යුතු බව කියනවා. එතකොට මේක මොකක්ද ? කියන ප්රශ්නය ඇති වෙනවා.” විරංජන පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය ආයතනයේ සමාජිකත්වය ‘නිකංම ගිහින්’ ගත නොහැකි බව විරංජන පනතතේ ප්‍රතිපාදන උපුටා දක්වමින් පැහැදිලි කළේය.
“මට හිතෙන ආකාරයට අදාළ සුදුසුකම් සපුරා ලීම තුළින් පමණයි ඔහුට හෝ ඇයට මෙහි සාමාජිකත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කවුද මේ සුදුසුකම් හදන්නේ කියලා. ඒකට තමයි පාලක මණ්ඩලයක් පත්කරන්නේ” පාලක මණ්ඩලය පත් කිරීමේ පැහැදිලි ගැටලුවක් පවතින බව විරංජන පැවසුවේය.
“මේක ඍජුවම කිව යුතුයි. මේකේ අතුරු පාලක සභාවක් පත් කරනවා. ඒ අතුරු පාලක සභාව පත්කරන්නේ විෂයභාර අමාත්‍යවරයා. පනත් කෙටුම්පතේ 26 වැනි වගත්නියට අනුව මේ අතුරු පාලක සභාව රාජ්‍යයේ සහ පවතින ආණ්ඩුවේ කැමැත්ත මත තමයි පත්කරන්නේ. එතනින් එහාට සිදුවන සියලු කටයුතු රාජ්‍යයේ සහ ආණ්ඩුවේ බලපෑමට යටත් වීමේ අවදානමක් තිබෙනවා. මේක මූලික ප්‍රශ්නයක්, බරපතළම ප්රශන්යක් ලෙස මම දකිනවා”.
මාධ්‍ය වෘත්තිකයා අර්ථ නිරූපණය කිරීම
මෙම පනත් කෙටුම්පතේ මාධ්‍ය වෘත්තිකයා අර්ථ නිරූපණය කිරීම නිවැරදි එකක් නොවන බව විරංජන හේරත් කීවේය. “මේකේ මාධ්‍ය අයිතිකාරයොත් ඉන්නවා, මාධ්‍ය කළමනාකරුවොත් ඉන්නවා, මාධ්‍යවේදීනුත් ඉන්නවා, කැමරා ශිල්පීනුත් ඉන්නවා, ඔ්නෑම කෙනෙකුට එන්න පුළුවන්. නමුත් ඔවුන් මේ ආයතනයේ සාමාජිකත්වය ගන්නේ කොහොමද ?, ඔවුන්ගේ ප්‍රමිතිය කුමක් ද ?. එතකොට ‘මාධ්‍ය වෘත්තිකයා කියන්නේ කවුද ?’ කියන අර්ථ නිරූපණය අසම්පූර්ණයි, හරිම අවිධිමත්. ඒ වගේම මාධ්‍යවේදීන්ගේ විනය පාලනය ගැන තියෙනවා. මේක කරන්නේ කොහොමද ?, කවුද ඒක කරන්නේ ?. මේවා බැලූ බැල්මට හරිම අසම්පූර්ණයි. මෙහි මම දකින තවත් මූලික ප්‍රශ්නයක් ඒක.”.
සල්ලි කොහෙන්ද ?
වරලත් මාධ්‍ය ආයතනය පිහිට වීමට සහ පවත්වා ගෙන යාමට අවශ්‍ය මුදල් සොයා ගන්නේ කෙසේදැයි විරංජන මෙහි දී ප්‍රශ්න කළේය. “මේ වගේ වැඩක් කරන්න කවුද සල්ලි දාන්නේ ?, ඒක පැහැදිලි නැහැ. රජය මුදල් දෙන්නේ නැහැ. ආයතනය විසින් සල්ලි සොයා ගත යුතුයි. හරිහමං වැටුපක් පවා නොලැබෙන මාධ්‍යවේදීන්ට සල්ලි දාලා මේක පවත්වා ගෙන යාමට පුළුවන් ද ?. විදේශ අරමුදල් ලබා ගන්නේ කොහොමද ?. මේ කිසිවක් පැහැදිලි නැහැ”.
මෙම ආයතනය සම්බන්ධ යම්කිසි ගැටලුවක් උද්ගත වුවහොත් ‘යා යුතුතේ කොතැනට ද?’ යන්න ද පනත් කෙටුම්පත අනුව අපැහැදිලි බව විරංජන පෙන්වා දුන්නේය.
“අභියාචනා ක්‍රියාවලියක් ගැන පැහැදිලි සඳහනක් නැහැ” ඔහු කීවේය.
මෙහිදී ඉතාම වැදගත් කරුණක් ද විරංජන ඉස්මතු කළේය. ඔහු පැවසුවේ ‘මාධ්‍ය හිමිකරුවන්ට කවුරුන් හෝ නෙරපා දැමීමට හැකියාවක් තිබේද ? යන්න ගැන මෙහි සඳහන් නොවන බවයි.
‘ලෝක තත්ත්වය එක්ක ගත් විට මෙවැනි ගැටලු ගැන කියනවා. එක්සක් රාජධානියේ ඉතාම පැරණි එකක් තිබෙනවා. මම නම කියන්න කැමැති නැහැ, නමුත් ලංකාවෙත් එහෙම හදා ගත්ත ආයතන තිබෙනවා. මාධ්‍ය වෘත්තියට පිළිගැනීමක් දෙන්න, ආචාරධර්ම ක්‍රියාත්මක කරන්න, මාධ්‍යවේදීන් පුහුණු කරන්න ආදි වශයෙන් මාධ්‍යවේදීන් විසින් හදා ගත්ත සංවිධානත් තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳවත් යම් ප්‍රශ්න ටිකක් තිබෙනවානේ. ආචාරධර්ම ක්‍රියාත්මක කරන්න ඒ ආයතනවලට පුළුවන් වෙලා ද, ස්වයං නියාමනය ක්‍රියාත්මක කරන්න ඒ ආයතනවලට පුළුවන් වෙලා ද, විද්‍යුත් මාධ්‍යවල භූමිකාව කුමක් ද ?. ඒ නිසා සමස්තයක් ලෙස මේ පනත් කෙටුම්පත තුළ මහ ලොකු දෙයක් මට පේන්නෙත් නැහැ. මාධ්‍ය නිදහස සීමා කරනවා කියලා පේන්නෙත් නැහැ. නමුත් අනෙක් පැත්තෙන් ගත්විට අද තිබෙන මාධ්‍ය සංදර්භය තුළ මේක හරහා මාධ්‍යට කිසිම වැඩක් වෙයි කියලා පේන්නෙත් නැහැ. නමුත් මේකේ යම්කිසි අනවශ්‍ය දේවලුත් තිබෙනවා. අවසානයේ මේක මාධ්‍ය හිමිකරුවන්ගේ මෙවලමක් බවට පත්වෙන්නත් පුළුවන්, එවැනි අවදානමකුත් මේකේ තිබෙනවා. මට පේන ආකාරයට මේක පුළුල් දැක්මක් නැති පනත් කෙටුම්පතක්, මේක විශාල වශයෙන් සංවර්ධනය විය යුතු පනත් කෙටුම්පතක්. මේක මේ ආකාරයෙන් සම්මත වුණා කියලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. මේ කියන ආයතනය පිහිට වීමට පුළුවන් වෙයිද ? කියන ප්රශ්නය පවා මට තිබෙනවා. අපි දන්නවා අද ලංකාවේ ගොඩක් මාධ්‍ය ආයතන කියනවා ‘පඩි ගෙවන්න සල්ලි නැහැ’ කියලා. එතකොට කවුද මේකට අරමුදල් දෙන්නේ ?. කොහෙන්ද අරමුදල් එන්නේ. ?. මේ පනත් කෙටුම්පතේ ඒ ගැන හොයා ගන්න නැහැ” මෙහි දී විරංජන පෙන්වා දුන්නේ මාධ්‍යවේදීන් එකතු වී තම වෘත්තීය තත්ත්වය ඉහළ නංවා ගත හැකි ආයතනයක් ලෙස ද සැලකිය හැකි බවයි. නමුත් සම්පූර්ණ පනත් කෙටුම්පත් ලෙස මෙය ලංකාවේ වත්මන් මාධ්‍ය මුහුණ දී සිටින ගැටලු විසඳා ගත හැකි පනත් කෙටුම්පතක් ලෙස නොසැලකිය හැකි බව ද ආචාර්ය විරංජන හේරත් අවධාරණය කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සමාජ සංවාද මාලාවේ 277 වැනි කතිකාව පසුගිය ඉරිදා ‘යෝජිත වරලත් මාධ්‍ය ආයතන ගැන විමසුමක්’ යන තේමාව යටතේ පැවැත්විණි. එහි දී නීතිඥ, ආචාර්ය විරංජන හේරත් විසින් ඉදිරිපත් කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත. මෙම වැඩසටහන මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා විසින් මෙහෙයවනු ලැබුවේය.
සටහන – තුෂාල් විතානගේ













