අපි ළඟ බොරුව නැහැ, රැවටිල්ල නැහැ, ඇන්දවිල්ල නැහැ. කරනවා කිව්වොත් කරනවා. නමුත් ඔක්කොම දේවල් කරනවා කියලා මම නම් කියන්නේ නැහැ. නමුත් ඔබගේ සාධාරණ ඉල්ලීම් සහ අපේක්ෂා ඉටු කරනවා. ඔබට තෘප්තිමත් සේවයක් ලබාදීමට අපි පියවර ගන්නවා. මම දැන් ඉන්නේ විපක්ෂයේ, නමුත් විපක්ෂ නායකවරයා ලෙස ඔබ වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය මම කරනවා.

අපේ රටේ සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් 150,000ක පමණ පිරිසක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මම අනිවාර්යයෙන් පෙනී සිටිනවා. අපි ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සටන් කරලා ඔබගේ සාධාරණ යෝජනා ඉදිරිපත් කරලා ඒවා ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.
ඇයි මම සංවර්ධන නිලධාරීන්ගේ යෝජනා ‘සාධාරණ යෝජනා’ කියලා කියන්නෙ, ප්‍රධානතම දේ තමයි ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉහළම තලයට ගිය අපේ රටේ ප්‍රජාවක්. ඒ කියන්නේ කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ අධ්‍යාපනයක් ලැබුවා. ඔබ තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණ උගතුන්, බුද්ධිමතුන් වෙන්නේ, උපාධිධාරීන් බවට පත් වුණේ.
- සංවර්ධන නිලධාරීන් 150,00කගේ දුක්ගැනවිල්ල
ඔබ උපාධියක් ලබා තිබෙනවා. ඒ අනුව යම්කිසි අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීම සඳහා ඔබව සේවයට බඳවා ගෙන තිබෙනවා, නමුත් ඒ සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට පෙරයි. මගේ මතය මේ බඳවා ගැනීම හොඳයි, නමුත් මේ බඳවා ගැනීම තුළ විධිමත් සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුතුව තිබුණා. මොකද ඔබව රාජ්‍ය සේවයට බඳවා නොගත්තා නම් ඒක නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණ දූ දරුවන්ට කරන බලවත් අසාධාරණයක්.
දැන් ඔබ උපාධිධාරීන්, ඔබ රාජ්‍ය සේවයේ සිටින බුද්ධිමතුන්, උගතුන්. නමුත් ඔබව රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාගයක් නැහැ. ඒ වගේම උපාධියත් සමඟ ලැබෙන සමාන තනතුරුවල ඉන්න අයට සමාන වැටුප් තලයක් නැහැ, උසස් වීම් ක්‍රමවේදයක් නැහැ, ශ්‍රේණි අතර ඔබට උසස් වීම් ලැබෙන්නේ අවුරුදු දහයෙන් දහයට. නමුත් අනෙක් ක්ෂේත්රවල අවුරුදු පහනේ පහට උසස් වීම් ලැබෙනවා. ඒ වගේම ඔබගේ සේවාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෘත්තීය පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. පැහැදිලි රාජකාරී වගකීමක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම ඔබගේ වෘත්තීය ගරුත්වය පහළටම ඇද දමා තිබෙන්නේ. උපාධියට සරිලන තනතුරුත් නැහැ, උපාධියට වඩා අඩු සුදුසුකම් ලැබූ නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයින් ඔබගේ සේවාව අධීක්ෂණය කරනවා.
ඒ වගේම වසරක පුහුණු කාලයක් ඔබට තිබෙනවා. නමුත් ඒකත් සේවාවට ගැළපෙන ආකාරයේ යම් විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුවෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කිසිම මාර්ගෝපදේශකත්වයක් නැහැ. සමස්තයක් ලෙස බලන විට ඔබට අනිවාර්යයෙන්ම සාධාරණයක් ලැබිය යුතුයි, යුක්තිය ඉටුවිය යුතුයි. ඒ සාධාරණත්වය ඉටු කිරීම උදෙසා අපට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය අපි අනිවාර්යයෙන්ම ඉටුකරනවා.
ඒ වගේම ඔබ මුහුණ දෙන තවත් දුක් ගැනවිලි ගණනාවක් තිබෙනවා. ‘ආර්ථික සංවර්ධන නිලධාරී’ කියන නාමය එතරම් හොඳ නැති බව නිසා ඒ තනතුරු නාමය ‘ප්‍රජා සවිබල නිලධාරීන්’ ලෙස නම්කර තිබෙනවා. නමුත් ඒකේ ආයු කාලයත් අවුරුදු තුනයි. අවුරුදු තුනකින් පසු ඔබට සිදුවන දේ ගැන කිසිම විධිමත්භාවයක් නැහැ, නිශ්චිතභාවයක් නැහැ. ඒ වගේම බරපතළ ඛේදවාචකය තමයි ඔබලව අන්දලා තිබෙනවා.
මට මතකයි පසුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා සංවර්ධන නිලධාරීන් යම් පිරිසක් පැමිණ අපව හමු වුණා. මම එදා ඇත්ත ප්‍රකාශ කළා. මම කිව්වා, ‘ඔබලා ඉල්ලන සේරම පොරොන්දු ඉටු කරන්න බැහැ’ කියලා. නමුත් මම කිව්වා, උපාධිධාරීන්ට යම් සාධාරණත්වයක් ලබාදීමේ ගමනේ යම් පියවර කිහිපයක් ඉදිරියට තබනවා කියලා මම පොරොන්දු වුණා. මම නැවත කිව්වා ‘ඔබ ඉල්ලන සියලුම දේවල් එකපාරට කරන්න බැහැ’ කියලා.
- ඇත්ත කියලා පරාජයට පත්වීම
නමුත් කුමක් ද වුණේ ?, ඇත්ත කතා කළ නිසා මැතිවරණ වින්දිතයෙක් බවට මම පත් වුණා. ඒ ගැන කරන්න දෙයක් නැහැ. නමුත් කනගාටුවට කාරණාව තමයි මේ රටේ 150,000ක් සංවර්ධන නිලධාරීන් වින්දිතයෝ බවට පත්වෙලා තිබෙනවා. බොරුව, රැටවිල්ල, ඇන්දවීම, මංමුලා කිරීම නිසා ඔවුන් බරපතළ අපහසුතාවකට පත්ව සිටිනවා. කොටින්ම උපාධියක් ලබාගත් ඔබව තඹ දොයිතුවකට තකන්නේ නැතිව, ඔබගේ උගත්කම, බුද්ධිය ගැන කිසිම තැකීමක් නැතිව ඔබ රැවටීමට ලක් කළා. ඒ නිසා තමයි ඔබව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිය පුද්ගලයාට ‘අන්දවපු ආරච්චි’ කියලා නමක් පටබැඳලා තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති කියලා මම හිතනවා.
විශේෂයෙන්ම මම කියන්න කැමතියි සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් අපි සටන් කරනවා. අඩුම ගානේ ඔබට සාධාරණත්වයක් ඉෂ්ඨ සිද්ධ වෙන ගමනේ ආරම්භයක් හරි ලබා දෙන්න අපට කරන්න පුළුවන් උපරිම දේ අපි කරනවා. අපි ලබන සතියේම පාර්ලිමේන්තුවේ දී ඒ සටන ආරම්භ කරනවා. ඒ වගේම මම ඔබතුමන්ලාට කියන්න කැමතියි, මම මුලින්ම කිව්වානේ මම ඇත්ත කතා කළ නිසා මම පරාජය වුණා කියලා. මම කිව්වා සංවර්ධන නිලධාරීන්ට සාධාරණත්වය ඉටු කිරීමේ යම් පියවර කිහිපයක් හෝ තබනවා කියලා. නමුත් මම ගත් කටටම කිව්වා ‘ඔබ ඉල්ලන සියලු දේ කරන්න බැහැ’ කියලා. ඒ නිසාම මම පරාජයට පත් වෙන්න ඇති. නමුත් මම අද සතුටු වෙනවා, ඇත්ත කතා කරලා පරාජයට පත්වීම මට ගරුත්වයක්. බොරු කියලා, අන්දවලා ජනතාව මුලාවට පත්කරනවාට වැඩිය ඒක ගරුත්වයක්.
- සෑම තැනම ඇන්දවිල්ල
අද මේ රටේ වැඩිහිටි ජනතාවට, විශ්‍රාමික ප්‍රජාවට සහ ඔවුන්ගේ ඉතිරි කිරීම් වලට මේ ආණ්ඩුව විශාල හානියක් කරලා තිබෙනවා. ඔවුන්ගේ ඉතිරි කිරීම්වලට 10%ක අනිවාර්යය පොළියක් ලැබුණා. අද මේ රජය ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා තිබෙනවා.
ගොවියගේ බීජ වී වල සිට පොහොර, කෘෂි රසායන ද්‍රව්‍ය, කෘෂි උපකරණ, වනසත්ත්ව හානි, නිෂ්පාදනයට ස්ථාවර මිලක් ලබා නොදීම ආදි ගැටලු රැසකින් අද ගොවි ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් මේ ආණ්ඩුව කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ, ක්‍රියාත්මක කර නැහැ.
මේ අහිංසක ගොවි ජනතාව ගොවිතැන් කරන්නේ කණකර උකස් කරලා. වී ගොවියා පමණක් නොවෙයි, එළවළු ගොවියා, තේ ගොවියා, අල – ලූණු ගොවියා ඇතුළු සියලුම ගොවීන් අද වෙන විට ඉතාම අසරණ තත්ත්වයට පත්ව සිටිනවා. ඔවුන් අද මේ තත්ත්වයට පත් වුණේ බොරුව, රැවටීම, ඇන්දවීම සහ ජනතාව මංමුලා කිරීමේ ක්‍රියාවලිය නිසයි.
ධීවර ජනතාව ගත්තොත් නැත්තටම නැති වෙලා, අන්ත අසරණ වෙලා ඉන්නේ. ඔවුන්ට ලබා දෙනවා කියලා පොරොන්දු වුණ කිසිම සහනාධාරයක් මේ දක්වා ලබාදී නැහැ. සහනාධාර ක්‍රමයට ලබා දෙන බවට පොරොන්දු වූ දැල් ආම්පන්න, බෝට්ටු, එක්දින යාත්‍රා, බහුදින යාත්‍රා සහනාධාර පදනමක් යටතේ ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් මේ දක්වා ඒ කිසිම පොරොන්දුවක් ඉටුකරලා නැහැ. එතනත් කරලා තියෙන්නේ ඇන්දවිල්ල.
- ජීවන වියදම අහස උසට
අද වන විට ජීවන වියදම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. භාණ්ඩ හා සේවා මිල මේ ආකාරයෙන් අහස උසට ඉහළ ගිහින් තිබෙන අවස්ථාවක රජයේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා පසුගිය අප්‍රේල් මාසයේ ගණනය කිරීම් අනුව එක් පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වීමට රුපියල් 17,000ක් ප්‍රමාණවත් කියලා. මම විශ්වාස කරන ආකාරයට එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වීමට මේ මුදල කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ආහාර සහ ආහාර නොවන වියදම් වෙනුවෙන් මේ මුදල කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මේක පැහැදිලිවම ව්‍යාජ තොරතුරක්, වැරදි තොරතුරක්. මේ හරහා කරන්නෙත් රට අන්දවන එක.
දැන් රටත් අන්දවලා, ජනතාවත් අන්දවලා ඉවරයි. මම දන්නේ නැහැ මේක ආණ්ඩුවේ ක්‍රියාවලියක් ද කියලා. නමුත් මට හිතෙනවා තමන්ගේ බොරුවලට දැන් ආණ්ඩුවත් ඇදගෙන ද කියලා. දැන් ආණ්ඩුවත් හිතනවා, ‘ජනතාවට මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය රුපියල් 17,000යි නේ. මේ රටේ බොහෝ දෙනෙක්ට රුපියල් 17,000කට වඩා ආදායමක් ලැබෙනවා. ඒ නිසා ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ’ කියලා.
නමුත් ඇත්තම තත්ත්වය කුමක් ද ?. මේ රජය ඉතාම ක්‍රමානුකූලව, ඉතාම කූඨ ආකාරයට, උපක්රමශීලීව මේ රුපියල් 17,000 කතාව ජනමතයක් ලෙස නිර්මාණය කරමින් සිටිනවා. ‘තනි පුද්ගලයෙකුට රුපියල් 17,000කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්’ කියලා ජනමතයක් හදනවා. මේ මතය ජනතාව අතර තහවුරු කිරීමට ආණ්ඩුවේ වහල් සමාජ මාධ්‍ය ජුන්ටාව යොදා ගන්නවා. ඒ වහල් සමාජ මාධ්‍ය ජුන්ටාව රටේ ජනතාවට ඒත්තු ගන්වනවා ‘තනි පුද්ගලයෙකුට දින 30ක් ජීවත් විමට රුපියල් 17,000ක් ප්‍රමාණවත්’ කියන කාරණය.
රජයත් මේ රුපියල් 17,000 ප්‍රමාණවත් කියන පදනම මත කටයුතු කරන නිසා අද මාතෘ මන්දපෝෂණය, ළමා මන්දපෝෂණය වගේම දුප්පත්කම බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
- ලක්ෂ 220ක් ඇන්දවීම
සංවර්ධන නිලධාරීන් වන ඔබවත් රැවැට්ටුවා කියන එකත් අහන්න දෙයක් ද ?, මේ රටේ ලක්ෂ 220ක් ජනතාවත් මේ ඇය ඇන්දුවානේ. වරායෙන් ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙනවා කියලා මේ අය කිව්වනේ. එහෙම කියලා ලක්ෂ 220ක්ම ඇන්දුවනේ. ඛනිජ තෙල් ඇමතිට කොමිස් යනවා, නිලධාරීන්ට කොමිස් යනවා, භාණ්ඩාරයට විශාල බද්දක් යනවා, තවත් බදු වර්ග ගණනාවක් අය කරනවා කියලා කිව්වා, මේ බදු සේරම ඉවත් කරනවා කියලා කිව්වා.
විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය උද්ගතව තිබිය දීත් මේ වගේ මහා බරපතළ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබිය දීත් මේ අයට අර බදු ටික ඉවත් කරලා අඩු මිලට තෙල් ටික ලබා දෙන්න මේ ආණ්ඩුවට හිතක් පපුවක් තිබුණේ නැහැ. රටේ ජනතාවගේ වාසනාවට මේ වන විට එක්සත් ජනපදය සහ ඉරානය අතර යම්කිසි සම්මුතියක් ඇති වෙලා තිබෙනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ තත්ත්වය ස්ථිර සාර සාම ගිවිසුමක් දක්වා ගමන් කරලා මේ අර්බුදය සම්පූර්ණයෙන්ම නිමාවට පත්වේවා කියලා. ඒක එසේ නොවුණොත් අපේ රටේ ලක්ෂ 220ක් ජනතාව තවත් විශාල අර්බුදයකට ලක් වෙනවා, හානියට පත්වෙනවා. ඒ නිසාම අපි ප්‍රාර්ථනා කළ යුතුයි මැදපෙරදිග යුද තත්ත්වය තිරසාර ලෙස අවසන් වේවා කියලා.
මේ ජනාධිපතිවරයා මැතිවරණයට පෙර වේදිකාවක් වේදිකාවක් ගානේ ගිහින් කිව්වා විදුලි බිල 33%කින් අඩු කරනවා කියලා. 9000 බිල 6000 කරනවා කියලා කිව්වා, 6000 බිල 4000 කරනවා කියලා කිව්වා, 3000 බිල 2000 කරනවා කියලා කිව්වා. මේ ආකාරයට 33%කින් විදුලි බිල අඩුකරනවා කියලා ආණ්ඩුව මොකද කළේ ?. විදුලි බිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැම්මා. මේ සේරම බොරු මැද්දේ සංවර්ධන නිලධාරීන් වන ඔබවත් රැවැට්ටුවා කියන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
තවමත් දිට්වා සුළි කුණාටුවට හසුවුණ ජනතාව බලා ගෙන ඉන්නවා සුළි කුණාටුවෙන් නැති වුණ ටකරමට ලැබෙයි කියලා. ඒ තරම් ජනතාව මෝඩයෝ ගාණට දාලා තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. ලක්ෂ 220ක් වන මේ රටේ ජනතාව පල් මෝඩයෝ කියලා හිතා ගෙන තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ නිසා තමයි කියන්න පුළුවන් තරමක් පට්ටපල් බොරු කියලා, බොරු පොරොන්දු දීලා මේ ජනතාව රැවැට්ටුවේ.
- බොරු කිව්වොත් රජ පුටුවට
මේක අපට කියලා දෙන පාඩම මොකක්ද ?, බොරු කිව්වොත් ජනාධිපති වෙන්න පුළුවන්, බොරු කියලා 2/3ක් ගන්න පුළුවන්, බොරු කියලා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන්. නමුත් මේවට පැවැත්මක් නැහැ, බොරුවට ආයු කාලයක් නැහැ. ඒ නිසා මම හදවතින්ම සතුටු වෙනවා. ඇත්ත කතා කරලා අපි ගෙදර ගියා. බොරු කියපු අය රජ වෙලා ලක්ෂ 220ක් ජනතාව අනාථ කළා.
නමුත් අපි වැදගත් දෙයක් මතකයේ තබා ගත යුතුයි. 2019 දීත් ජනතාව මුලාවට පත් වුණා. රැවටුණා, 2024දීත් රැවටුණා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි, සිස්ටම් චේන්ජ් කරනවා කියලා බලයට පත් වුණ කල්ලිය බොරු කියලා ජනතාව අනාථ කළා. ඊට පෙර උගතුන් – වියතුන් දාලා රට පාලනය කරනවා කිව්ව අය රට බංකලොත් කළා. මේ තත්ත්වය තුළ රට හමුවේ තිබෙන විකල්පය අද පෙර පාසල් දරුවා පවා දන්නවා.
මම අදත් ඔබට කියන කතාව තමයි, අද ඔබ විඳින දුක, විඳින ගැටලු, මුහුණ දෙන අභියෝග එක පාරට, එක පෑන් පාරකින් විසඳන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. අපේ රජයකින් වුණත් මේ සියලු අභියෝග, ගැටලු එක රැයකින් විසඳන්න බැහැ.
නමුත් සාධනීය ලෙස ඔබගේ වෘත්තිය ගරුත්වය, රැකියා සුරක්ෂිතභාවය, අඩුම වශයෙන් ඔබගේ වැටුප් තලයන්, අඩුම ගානේ ඔබගේ උසස් වීම් ක්‍රියාවලිය, අවම වශයෙන් ඔබ වෙනුවෙන් නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් ලබා දීමේ ක්‍රියාවලිය අපි අපේ රජයක් යටතේ අනාගතයේ දී ඉටු කරනවා. අපි කරනවා කිව්වොත් කරනවා, කරන්න බැරි දේට බයක් නැතිව බෑ කියලා කියනවා. මේක තමයි අපේ දේශපාලනය.
- මං ළඟ බොරුව නැහැ
මගේ ළඟ සමාජ මාධ්‍ය ජවනිකා නැහැ, මේකප් දාගෙන, කැමරාව ඉදිරියේ සංදර්ශන දාන පුරුද්දක් නැහැ. සමාජ මාධ්‍යවල වයිරල් වෙන බොරුව මගේ නම් නැහැ. රටට අවශ්‍ය ඇත්ත ද, ප්‍රතිඵල කේන්ද්‍රීය සේවාව ද රටට හොඳ, එසේ නොමැති නම් මේකප් දාගෙන, ලිප්ස්ටික් දාගෙන පියරු බබ්බු වාගේ රටට පෙන්වන සෝබන ලෝකය ද හොඳ කියලා මේ රටේ ජීවත් වන ලක්ෂ 220ක් වන ජනතාව විසින් දැන් තීරණය කළ යුතුයි. මොකද මේ පියරු බබ්බු, සමාජ මාධ්‍ය ප්රතිරූප හිතනවා එයාලා තමයි මේ රටේ දේශපාලන පොරවල් කියලා, අනාගත නායකයෝ කියලා.
නමුත් මතක තබා ගන්න 2019 දී මේ අය බලයට ඇවිත් රට බංකලොත් කළා, 2024 දී සිස්ටම් චේන්ජ් කරනවා කියලා බලයට ඇවිත් රට පතුලටම අරන් ගියා. ඒ නිසා මම, සමගි ජන බලවේගය සංවර්ධන නිලධාරීන් වන ඔබ වෙනුවෙන් සටන් කරනවා. ඔබ සියලු දෙනාම ලබන සතියේ පාර්ලිමේන්තුවට එන්න, අපි ඔබ වෙනුවෙන් සටන් කරන ආකාරය ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්, කන් දෙකෙන් ආසා ගන්න පුළුවන්. අපි ළඟ බොරුව නැහැ, රැවටිල්ල නැහැ, ඇන්දවිල්ල නැහැ. කරනවා කිව්වොත් කරනවා. නමුත් ඔක්කොම දේවල් කරනවා කියලා මම නම් කියන්නේ නැහැ. නමුත් ඔබගේ සාධාරණ ඉල්ලීම් සහ අපේක්ෂා ඉටු කරනවා. ඔබට තෘප්තිමත් සේවයක් ලබාදීමට අපි පියවර ගන්නවා. මම දැන් ඉන්නේ විපක්ෂයේ, නමුත් විපක්ෂ නායකවරයා ලෙස ඔබ වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය මම කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සංවර්ධන නිලධාරීන් පිරිසක් අතර පසුගිය 17 වැනිදා පැවැති සාකච්ඡාවේ දී දක්වන ලද අදහස් ඇසුරින් සම්පාදිත ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූනි 21 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
















